By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ විශාල මුදල් ආයෝජනයක් කර ඇති බවට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව විසින් පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
මෙම අසත්‍ය චෝදනාවට එරෙහිව ජනාධිපතිවරයා වෙනුවෙන් නීතීඥ අකලංක උක්වත්ත විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති බව වාර්තා වේ.
තුසිත හල්ලොලුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමයේ සිට අමාත්‍යවරුන් රැසකගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ අයෙකු වන අතර මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධුරයේ සිටියදී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙනුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කළ අයෙකි.
එසේම තුසිත හල්ලොලුව කලක් ජනතා විමුක්ති පෙරමුණ සමග ද සමීපව කටයුතු කළ අයෙකු බවද පැවසේ.
කෙසේවෙතත් තුසිත හල්ඔලුව ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් දේපොළ කිහිපයක් අනිසි ලෙස භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයකට ඉදිරිපත්කිරීමෙන් පසු මේ වනවිට ඇප ලබා සිටී.
ඔහුට එරෙහිව විදේශගත වීම වළක්වන නියෝගයක් ද නිකුත්කර ඇත.