By unusuma.lk on
(LK time)කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22ක අතිවිශාල මුදලක් ඉතා සියුම් ආකාරයේ උපායකට රවටා කොල්ල කෑ බවට චෝදනා ලැබූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
මෙම කොල්ලය සිදුවී ඇත්තේ පසුගිය මැයි මස 08 වැනි දින වෙළම්බොඩ ප්‍රදේශයේ අදාළ ව්‍යාපාරිකයාගේ නිවස තුළදීය.
විමර්ශවලදී හෙළිව ඇත්තේ, සැකකරුවන් විසින් අදාළ ව්‍යාපාරිකයාට කැරට් 24ක රත්රන් බිස්කට් එකක් ලබා දී ඇති අතර, එහි ගුණාත්මක බව පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිට ඇත. ව්‍යාපාරිකයා එම බිස්කට්ටුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය ඇත්තටම කැරට් 24 රත්රන් බිස්කට්ටුවක් බව තහවුරු කරගෙන ඇත.
ඉන්පසුව ප්‍රධාන සැලසුම ක්‍රියාත්මක කරමින්, සැකකරුවන් ව්‍යාපාරිකයාට දැනුම් දී ඇත්තේ එවැනිම රත්රන් බිස්කට් කිලෝග්‍රෑම් 15ක් තමන් සතුව ඇති බවත්, ඒවා මිලදී ගැනීමට නම් රුපියල් කෝටි 22ක් අවශ්‍ය බවත්ය.
මෙම ව්‍යාපාරික අවස්ථාව මඟ නොහැරීමට තීරණය කළ ව්‍යාපාරිකයා, රුපියල් කෝටි ගණනක් වටිනා ඔහුගේ ජීප් රථයත්, නිවසේ අඹු දරුවන්ගේ ස්වර්ණාභරණද උකස් කොට, මිත්‍රයින්ගෙන් ණය මුදල් ලබාගෙන රුපියල් කෝටි 22ක් සම්පූර්ණ කර ගැනීමට සමත් වී තිබේ.
පොලිස් විමර්ශන අනුව, ගනුදෙනුව සිදු කිරීම සඳහා කතිකා කරගත් පරිදි, පසුගිය මැයි 08 වැනි දින පුද්ගලයින් අට දෙනෙකු වෑන් රථයකින් ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ ඇත.
එම අවස්ථාවේදී සැකකරුවන් ඉතා ප්‍රවේශමෙන් නිවසේ සිටි අනෙකුත් සාමාජිකයින් වෙනත් නිවසකට යවා ඇති අතර, අනතුරුව ව්‍යාපාරිකයාගෙන් රුපියල් කෝටි 22ක මුදල පැහැරගෙන පලායාමට සමත් වී ඇත.
මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනා කුණ්ඩසාලේ, ඇඹිලිපිටිය සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කර ඇත.
වඩාත් සැලකිය යුතු කරුණක් නම්, මෙම සැකකරුවන් තිදෙනා අතරින් සැකකරුවන් තිදෙනාම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයින් වීමයි. එම අයදුම්කරුවන් ‘පදක්කම’ සහ ‘පුටුව’ ලාංඡන යටතේ මැතිවරණයට ඉදිරිපත් වූ බව පොලිසිය වැඩිදුරටත් හෙළි කර ඇත.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, මංකොල්ලයට යොදා ගත් වෑන් රථය සහ මංකොල්ලකෑ මුදල් මේ වන තෙක් සොයාගෙන නොමැත. එමෙන්ම, මෙම මංකොල්ලයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් පස්දෙනෙකු සිටින බවට විශ්වාස කෙරෙන අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන දැනටමත් ආරම්භ කර ඇත.