By unusuma.lk on
(LK time)ජපානය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීම සඳහා පසුගිය සතියේ පැවති සාකච්ඡාවක් අතරතුරදී මෙරටට ජපානයෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා කනස්සල්ල පළ කර ඇත.
ඔහු පවසන්නේ, වෙනත් රටකින් ආනයනය කරන විද්‍යුත් වාහනවලට සාපේක්ෂව ජපානයෙන් ආනයනය කරන විද්‍යුත් වාහන සඳහා ශ්‍රී ලංකාව අධික බදු පනවා ඇති බවයි.
එහිදී තානාපති අකියෝ ඉසොමාටා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව ජපානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ සලකා බලන්නේ නම්, ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා පනවා ඇති අධික බදු පිළිබඳව සාකච්ඡා කළ යුතු බවයි.
නිදහසක් වෙළඳ ගිවිසුමක් අවශ්‍ය වන නිසාවෙන් හුදෙක් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ජපානය සූදානම් නැති බවත්, ශ්‍රී ලංකාවෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඔහු සඳහන් කළා.
දෙරට අතර එවැනි ගිවිසුමක් ඇති කර ගන්නේ නම් දෙපාර්ශ්වයටම වාසිදායක විය යුතු බවයි තානාපති අකියෝ ඉසොමාටා පවසන්නේ.
සංකේතාත්මකව අවශ්‍ය නිසා හෝ දේශපාලන හේතු මත පමණක් නිදහස් වෙළඳ ගිවිසුමක් සලකා බලන්නේ නැති බවද ඔහු පෙන්වාදෙනවා.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ජපානය මුහුණ දුන් අත්දැකීම් විස්තර කිරීමටද ඔහු එම අවස්ථාවේ කටයුතු කර තිබුණා.
ඇමෙරිකාව සමඟ මෙවැනි ගැටලු ජපානයට හුරුපුරුදු තත්වයක් බවත්, 1930 දශකයේදී පවා ජපානයට අපනයන සීමා සඳහා බල කෙරුණු බවත් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.