මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 250,000ක වන්දි මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළට.!

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ, දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 127 ක පවුල් 5821 කට අයත් පුද්ගලයන් 19032 ක් ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වී ඇති බවයි. මේ වනවිට ඔවුන් ආපදා සහන මධ්‍යස්ථාන 17 ක රඳවා සිටින අතර, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම වියළි හා පිසූ ආහාර සලාක ලබා දීමේ කටයුතු මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ආපදා හේතුවෙන් පුද්ගල මරණ 2 ක් වාර්තා වී ඇති අතර, පූර්ණ නිවාස හානි 10ක්, සුළු හෝ අර්ධ නිවාස හානි 438 ක් මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හානි 25 ක් හා වැදගත් යටිතල පහසුකම් 2ක් ද හානියට ලක් වී ඇති බව වාර්තා වී ඇත.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍ය ස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යංශය යන ආයතන වල පූර්ණ අධීක්ෂණය යටතේ ආපදාවන්ට ලක් වී ඇති ප්‍රදේශ වල දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා අනෙකුත් සහන සේවා කණ්ඩායම් එක්ව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක සහන සැලසීමේ කටයුතු මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතී.

තවද එම ප්‍රදේශ වල වැව් හා වාරි මාර්ග බොහොමයක් තවමත් පිටාර මට්ටමේ ඇති බැවින් වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ උපදෙස් පරිදි අවදානම් සහිත වැව් බැමි ශක්තිමත් කිරීමේ කටයුතු ද සිදු කරනු ලබයි.

ජනාධිපතිතුමාගේ සහ රජයේ උපදෙස් පරිදි ආපදා සහන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 30ක මුදල් ප්‍රතිපාදන වෙන් න්කොට ඇති අතර, අවතැන් වූ ජනතාව වෙනුවෙන් එක් පුද්ගලයෙකුට රුපියල් 1800ක් හා පවුල් වල සාමාජික සංඛ්‍යාව වැඩි වන අනුපිළිවෙලට රුපියල් 1800 සිට රුපියල් 2400, රුපියල් 2800, රුපියල් 3200 හා රුපියල් 3600 බැගින් වන පරිදි පිසූ ආහාර හෝ වියලි සලාක ලබාදීම සඳහා දෛනික ආහාර සලාක දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇත.

ආපදා හේතුවෙන් සිදු වන ජීවිත හානි වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 250,000ක වන්දි මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට ද රජයේ අනුමැතිය හිමි වී ඇත.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි වලට අනුව මෙම අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරියේදී පහව යනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය. මෙම තත්ත්වය පිළිබඳ සිදුකල පුරෝකථන ඔස්සේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා සිදු කල දැනුවත් කිරීම් මගින් නායයෑම් අවදානම් හා ගංවතුර හේතුවෙන් සිදු වීමට තිබූ හානි අවම කර ගැනීමට හැකි වූ බව සඳහන් කල නියෝජ්ය අමාත්‍යවරයා ඒ වෙනුවෙන් මාධ්‍ය ආයතන වලට සහ එම උපදෙස් වලට අනුගතව ක්‍රියා කල ජනතාවට සිය ස්තූතිය පුද කලේය.

අවදානමට පෙර සූදානම ඇති කිරීමේ රාජ්‍ය යාන්ත්‍රණය මේ වන විටත් සකස් කෙරෙමින් පවතින බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතන ඇතුළු ආපදා සහන කණ්ඩායම් වලට විශාල වගකීමක් පැවරී ඇති බවත්, රජයේ උපදෙස් හා නිවේදන වලට අනුගත වෙමින් සිදු විය හැකි හානි අවම කර ගැනීමට සහාය වීමට ජනතාව තවදුරටත් කටයුතු කල යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.