By unusuma.lk on
(LK time)සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකයන් සහ ක්‍රියාකාරීන් සඳහා පෙරේදා (26) පැවැති වැඩමුළුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ පසුගිය වසරේ රටට සිදු වූ වැරැද්ද නිවැරැදි කළ යුතු නිසා අලුතින් සිතා කටයුතු කළයුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා
“වෙනසක නිර්මාපකයන් ලෙස දීප්තිමත් හෙට දිනක් හැඩගැස්වීමේ වගකීම සහ අවස්ථාව අපට තිබෙනවා. පක්ෂය ගැන, ඉදිරි වැඩපිළිවෙළ ගැන නැවත සිතා බැලිය යුතුයි. මේ ගමනේදී පැරණි න්‍යායන් මත විශ්වාස තබාගත නොහැකියි. ලෝකය පෙර නොවූ විරූ වේගයකින් ඉදිරියට යන මොහොතක අපේ රටේ ජනතාව නිර්භීත ක්‍රියාමාර්ග ඉල්ලා සිටිනවා. පැරණි අදහස්වල යම් වැදගත්කම් මෙන්ම සාධනීය ලක්ෂණ තිබුණත් සෑම දෙයක්ම මොහොතින් මොහොත වෙනස් වෙනවා. දැනුම සහ උපායමාර්ග අලුත් වෙනවා. පුරවැසියන් දේශපාලන විශේෂඥයන්ට සහ දේශපාලනඥයන්ට වඩා වෙනස් විදිහට තීන්දු තීරණ ගන්නවා. පුරවැසියන් සෑම දෙයකටම සහභාගී වී ක්‍රියාකාරී තීරණ ගන්න ඍජුවම දායකත්වයක් දෙනවා. පසුගිය වසරේ සිදු වූ වැරදීම තුළ විශාල හිඩැසක් නිර්මාණයවී තිබෙනවා. ඒ හිඩැස පිරවිය යුතු නිසා බලයේ සිටින අයට වඩා වැඩි දෙයක් සිතිය යුතුයි. එය මහජනතාව පිළිගන්නා දෙයක් විය යුතුයි.”
මේ අතර, සර්ව ජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා පවසන්නේ වෙනත් අයකුගේ නායකත්වය යටතේ එකතු වීමක් ගැන රනිල් වික්‍රමසිංහ කිසිදා නොසිතන බවත්, එනිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයට එජාපය සහ සමගි ජන බලවේගය එක්ව තරග කිරීමට සිදු කරන සාකච්ඡා සාර්ථක වේ යැයි විශ්වාස කළ නොහැකි බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“එජාපය සහ සජබ එකතු වීමක් ගැන සිතන්නේ නම් රනිල් නොවී වෙනත් අයකු නායකත්වයට පත්වීමෙන් වැඩක් නැති බවයි මගේ මතය. නැවත එක්වීමට මේ සාකච්ඡා කරන්නේ එදා එකට හිටපු අයයි. මේ අය එකතු වෙනවාද නැද්ද කියලා අපි දන්නේ නෑ. ඒත් රනිල් වෙන කෙනකුට නායකත්වය දී එකතු වෙන තැනකට යයි කියලා මම හිතන්නේ නෑ. අනිත් එක තමයි, වෙන කෙනකුට නායකත්වය දී මේ එකතුවීමෙන් වැඩක් වෙන්නෙත් නෑ. මොකද සජිත්ගේ නායකත්වයෙන් සජබ දැන් මැතිවරණ ගණනාවක් පරාජය වුණා.”