By unusuma.lk on
(LK time)අධිකරණයට අපහාස කළේ යැයි කියන යූටියුබ් මාධ්‍යවේදියකු වන සුදත්ත තිලකසිරිට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ගොනුකර තිබෙන පෙත්සමක් පෙබරවාරි මස (07) වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කරයි.
මෙම පෙත්සම ඊයේ (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ කේ.එම්.එම්. දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය සමථයට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව සදහන් කළේය.
මෙහිදී වග උත්තරකාර සුදත්තතිලකසිරි වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ සමථය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සදහා දිනයක් ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ පෙත්සම පෙබරවාරි (07) වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර සිය පෙත්සමෙන් කියා සිටින්නේ වග උත්තරකරු විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව ඔස්සේ ඔහු කළ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙන බවයි.
ඒ අනුව 2024 අංක 08 දරන අධිකරණ ආයතන වලට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ පනත යටතේ ඔහු වරදක් කර ඇති බවත් ඒ අනුව නඩු විභාගයක් පවත්වා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් මනුෂ නානායක්කාර මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.