By unusuma.lk on
(LK time)හිරියාල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් රුපියල් එක්කෝටි දහහත් ලක්ෂයක මුදලක් වියදම් කර සතියේ සාමාජිකයන් කණ්ඩායමක් උතුරු ඉන්දියාවේ සංචාරයක් යැමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඉබ්බාගමුව සමුපකාර සමිතියේ සාමාජිකයන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස වයඹ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට උපදෙස් ලබාදී ඇත.
මෙම සංචාරය සදහා මහ සභා අනුමැතිය යටතේ සමුපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු අරමුදලින් ප්‍රථමයෙන් රුපියල් කෝටියක මුදලක් වෙන්කරගෙන තිබෙන බවත් පසුව එම මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නැවත ලක්ෂ 17ක මුදලක් වෙන්කරගෙන ඇති බවද වාර්තා වේ.
එහෙත් නිසි පරිදි මහ සභා අනුමැතියකින් තොරව දෙවන වරට ලක්ෂ 17 මුදල වෙන්කරගෙන ඇති බව පැවසෙන අතර මෙම මුදල් සමිතියේ ලාභාංශ ලෙස සදහන් කරමින් ලබාගෙන ඇති බවද සදහන් කරයි.
මෙම සංචාරයට සහභාගී වූ පිරිසේ ගමන් වියදමට අමතරව වෙනත් පෞද්ගලික වියදම් වෙනුවෙන්ද සමුපකාර සමිතියට අයත් මෙපමණ විශාල මුදලක් ලබාගෙන ඇති බව වයඹ සමුපකාර ක්ෂේත්රයේ ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම ඉන්දීය සංචාරය සදහා හිරියාල විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවේ සාමාජිකයන් 29 දෙනෙකු සහභාගි කරවාගෙන ඇති අතර දෙවන වරට ලබාගත් රුපියල් ලක්ෂ 17ක මුදල අනුමත කර ගැනීම සදහා අද (31) දිනයේ මහා සභා රැස්වීමක් කැඳවා තිබුණා ද එම රැස්වීම නොපවත්වාම අදාළ මුදල ලබාගෙන මෙම පිරිස පසුගිය (28) වැනිදා ඉන්දියාව බලා ගොස් ඇති බවද වාර්තා වේ.
මේ අනුව සංචාරය සදහා එක් සාමාජිකයකුට වෙන්වී ඇති මුදල රුපියල් ලක්ෂ 4 ඉක්මවන අතර වැටී ඇති සමුපකාර ක්ෂේත්රය නගා සිටු විය යුතු අවස්ථාවක වර්තමාන ආණ්ඩුව යටතේද කෙරෙමින් පවතින මෙවැනි නාස්තිකාර වියදම් කිසිසේත්ම අනුමත නොකරන බව එම සමුපකාර සමිතියේ සාමාජිකයෝ සදහන් කරයි.
මේ ආකාරයටම වයඹ පළාතේ ග්‍රාමීය බැංකුවල ඇති මුදල් විශාල වශයෙන් අවභාවිත කරමින් ඇතැම් පිරිස් මීට පෙරද අසර්බයිජානය, ඊජිප්තුව වැනි රට වලද සංචාරය කර ඇති බවත් අනාවරණය වෙයි.
මේ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් කෙරමින් පවතින බවත් සමුපකාර ක්ෂේත්රයේ ආයතන වල උපදවන ලාභාංශ මගින් සාමාජිකයන් සහ සේවකයන් උත්ප්‍රේරණය සදහා ලාභාංශ වලින් කොටසක් යෙදවීමට අවසරයක් තිබුණද, සමුපකාර සමිතියේ සාමාජිකයන්ගේ සංචාරය සදහා මුලින් අනුමත මුදලට වඩා වැඩි මුදලක් නීත්‍යනුකූල නොවන ආකාරයට නැවත වරක් ලබාගෙන තිබීම වරදක් වන බව වයඹ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් වසන්ත ගුණසේකර සදහන් කරයි.