By unusuma.lk on
(LK time)ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු පළමු වතාවට පසුගිය සිකුරාදා (31) යාපනයේ සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්දිස්ථානයක් සළකුනු කළේය.
එහි රැස්ව සිටි ජනතාවගෙන් අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් පිළිගැනීමක් හිමිවූ අතර එය සුවිශේෂී වනුයේ එම ලැබඳියාව මින් පෙර මෙරට සිංහල නායකයෙකු සඳහා හිමිව නොතිබූ නිසාවෙනි.
එදා යුද්ධය ජයග්‍රහණයෙන් පසු උතුර ඇමතූ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට පවා මෙවැනි ආදරයක් උතුරේ ජනතාවගෙන් හිමි වූයේ නැත.
මෙරට ඉතිහාසය පුරා විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් එක ලෙසින් වේදිකාව මත අලෙවිවූවා මිස කිසිවෙකුට සිදුවූ සෙතක් නැතිය.
එම පටු අරමුණු වෙනුවෙන් උතුරේත් දකුණේත් මහ පොළොව ඇති තරම් ලෙයින් කඳුලින් තෙත්ව තිබේ. දශක ගණනාවක් සිංහලයාට දෙමළා ගැනත් දෙමළාට සිංහලයා ගැනත් ගොඩනැගූ සැකය දේශපාලකයාගේ අවිය විය.
මෙරට පාලනය කළ උන් කෙතරම් කුරිරුද යත් බලය හමුවේ ඔවුන්ට මිනිසත්කම පවා අමතක විය. ඊට කදිම උදාහරණය පාස්කු ඉරුදින ප්‍රහාරයයි. බලය උදෙසා දෙවියන් වැඳීමට පැමිණි කිරි දරුවන් ඇතුළු මිනිසුන් 269ක් කැබලි කර දැමීමට උන් දෙවරක් සිතුවේ නැත.
කෙසේවෙතත් රටක් ලෙස අපට නැගී සිටීමට නොහැකි වූ කරුණු අතර මෙම ජාතිවාදී අරගලය ප්‍රධාන තැනක් ගනී. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ ගැටළුව පිළිබඳ මනා අවබෝධයක් යුතුව කටයුතු කරනා බවක් අපට පෙනේ.
ජනපතිවරයාගේ නායකත්වය යටතේ උතුර දකුණ අතර බිඳීගිය පාලම ගඩොලින් ගඩොල යළි ගොඩනැගෙමින් ඇත.
යාපනය සංචාරයේදී උතුරේ ජනතාවගේ ඉඩම් ගැටලුවලට සහ යුද්ධය නිසා අවතැන් වූ උතුරේ පවුල් සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එය ඓතිහාසික තීරණයකි.
එමෙන්ම උතුරු පළාත විශේෂ කොට සලකමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු කර ඇති බවත් ඒ අනුව පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ යන ප්‍රදේශවල කර්මාන්ත කලාප තුනක් ඇති කිරීමට අවධානය යොමුකර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
සංවර්ධනය සිදුවිය යුතුය, එමෙන්ම උතුරේත් දකුණේත් විවිධ දේශපාලන උවමනාවන් සඳහා අහේතුකව මරා දැමූ ජීවිත සඳහා යුක්තිය ඉටුවිය යුතුය.
තමා මරාදැමූ හේතුව හෝ නොදැන මියගිය දස දහස් ගනනක් ජීවිත වල විලාපයන් මේ බිමේ තවමත් අපට ඇසෙනු ඇත. උන්ගේ යුක්තිය වෙනුවෙන් අප අපේක්ෂා සහිතව දෑස් දල්වා බලා සිටිමු.