By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායක ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සදහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර ඇත.
මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (03) සිදු වූ අතර ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඊට අත්සන් තබන ලදී.
එමගින් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සදහා කසල ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 28ක් සපයනු ලබන අතර ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැගෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක් බැගින් ලබාදීමට නියමිතය.
රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා ලෝකයේ රටවල ආයෝජන ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත යොමු වෙමින් තිබෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මෙහිදී සඳහන් කළාය. දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට ඉදිරියටත් ජපාන රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බවද උප අමාත්‍යවරිය සඳහන් කළාය.
ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප වී කටයුතු කිරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ජපාන රජය වෙත ස්තුතිය පළ කළේය.
වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන දූෂණ විරෝධී වැඩපිළිවෙළ කිසිදු අයුරකින් පළුදු නොකර ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජපාන රජයේ ආධාර ඇතිව මෙරට ආරම්භ කර අතරමග නැවතුණු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ජපාන රජය වෙත ස්තුතිය පළ කළේය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව ජපාන රජය වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ඉදිරියේදී එම අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහාය ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය නංවාලීමට ජපාන ආධාර සහිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙසත් ජපාන රජයෙන් ඉල්ලීමක් කළේය.