By unusuma.lk on
(LK time)අද (08) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පැවසූවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමටත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දීමටත් ඉදිරියේදී කටයුතු කරනා බවයි.
එම සාකච්ඡාවේදී ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව අග්රාමාත්ය්වරියගේ අවධානයට ලක්විය.
මෙම සේවාවන්හි උසස්වීම්, වැටුප් විෂමතා, වෘත්තීය ගැටලු, ගුරු විදුහල්පති සේවයේ ස්ථාන මාරුවීම් නිසි පරිදි සිදු කිරීම (ජාතික හා පලාත්), පාසල්වලට සිසුන් ඇතුලත් කිරීම හා මුදල් එකතු කිරීම, ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු වලට බඳවා ගැනීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් හා පිරිවෙන් පද්ධතියේ පවතින ගැටලු සහගත තත්වයන් විසඳාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
අර්ධ රාජ්‍ය පාසල්වල සිදුකරන ගාස්තු අයකිරිම, පන්තියක ළමුන් 35කට සීමා කිරීම, පන්ති ප්‍රමාණය සීමා කිරීම, ගුරු උපදේශක සේවයේ කඩඉම් විභාග පැවැත්වීම යන කරුණු කෙරෙහිද සාකච්ඡා විය.
පාසල් සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේදී පුරප්පාඩු නොමැතිව ළමුන් ඇතුලත් කර නොගැනීමට සහ ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලිපි නිකුත් කිරීම් සිදු නොකිරීමට මේ වන විට ක්‍රියා කර ඇති බවත්, ගුරුවරුන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.