රනිල්ගේ බොරුව හෙළිවෙයි.. චාමර ඇතුලට.?

හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබු අතර එම අවස්ථාවේදී, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ සඳහන් කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ ආකාරයෙන් පළාත් සභාවල පවතින ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම සඳහා පසුගිය 2015 වසරේ තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ භාණ්ඩාගාරය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත්, එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක විසින් කළ ක්‍රියාවක් නීති විරෝධී එකක් නොවන බවත් සඳහන් කර තිබුණේය.

කෙසේ වෙතත් අදාල චක්‍රලේඛය නිකුත් කර තිබුණේ පසුගිය 2016 වසරේ නොවැම්බර් මස (22) වනදා වුවද, චාමර සම්පත් දසනායක අදාළ මුදල් ඉවත් කර ගැනීම සිදුකර තිබුණේ 2016 වසරේ පෙබරවාරි මස (29) වනදා බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ සඳහන් කළාය.

තවද මෙම සැකකාර චාමර සම්පත් විසින් අදාළ මුදල් ඉවත් කරගන්නා අවස්ථාව වන විට රනිල් වික්‍රමසිංහ සඳහන් කරන ආකාරයේ චක්‍රලේඛයක් නොතිබූ බවද අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ සඳහන් කළාය.

ඒ අනුව එම කරුණට අදාළව අල්ලස් කොමිසම රනිල් වික්‍රමසිංහ කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එහිදී රනිල් වික්‍රමසිංහ අදාල චක්‍රලේඛය නිකුත් කළ දින වකවානු පිළිබඳව දැනුවත් වීමකින් තොරව මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවද එම නිලධාරිනිය සඳහන් කළාය.

රනිල් වික්‍රමසිංහ එම සැකකාර චාමර සම්පත්ගේ බිරිඳගේ ඉල්ලීම මත මෙම මාධ්‍ය සාකච්ඡාව තමා පැවැත්වූ බව ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව චාමර සම්පත් දසනායක විමර්ශනවලට බාධා කිරීමක් සිදුකරන බැවින් ඔහුගේ ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදුකළ මෙම ක්‍රියාව තුළින් අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවී ඇති බවද මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන නිලධාරියා අධිකරණයට සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments