කළබල වෙන්න එපා.. දෙවැනිදායින් පසුව ගමේ බලය ලැබෙනවා.!

මේ රටේ ජනතාවගේ පවුරු පදනම් සහිත ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“හෙටත් මේ රටේ ජනතාවගේ පවුරු පදනම් සහිත ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. මේක ආපසු හරවන්න කාටවත් බැහැ. එක සභාවක්වත් දිනන්නේ නැතුව ඊළඟ ජනපති වෙන්න හදනවා. පුස් ව්‍යාපාරවලට රටේ බලය ගන්න හිතන්නවත් එපා. ජනතාවගේ ධනය හොරාකෑ, මාධ්‍යවේදීන් ඝාතනය කළ, පුරවැසියන්ගේ අයිතිවාසිකම් කප්පාදු කළ, ජාතිවාදය වැපිරූ ඉතිහාසයේ සාරයක් තමයි ඔවුන්ට තිබෙන්නේ.

අපට ජනතාවගේ විශාලතම බලයක් ලැබී තිබෙනවා. සිතන්නේ නැති ඡන්දදායකයෙක්ගෙන් වැඩක් නැහැ. අපට අවශ්‍ය සක්‍රිය ඡන්දදායකයෙක්. ප්‍රතිචාර දක්වන ඡන්දදායකයෙක්. විරෝධය දක්වන ඡන්දදායකයෙක්. ඒ සියල්ල අතර අවසන් සටනේ අපිව ආරක්ෂා කරන ඡන්දදායකයෙක් අපට අවශ්‍යයි.

තීරණාත්මක මොහොතේ හරි බල කඳවුර තෝරා නිවැරදි තීන්දු තීරණ ගන්නා ඡන්දදායකයෙක් අපට අවශ්‍යයි. ප්‍රතිචාර දක්වන, විරෝධය දක්වන ඡන්දදායකයෙක් නොමැතිව මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න බැහැ. අප නැවත නැවත ජනතාව කියන උරගලේ උරගා බැලිය යුතුයි.

දැන් අපට ජුනි දෙවැනිදායින් පසුව ගමේ බලය ලැබෙනවා. ජන වරම හොඳට තේරුම් ගත යුතුයි. අපිට පැහැදිලිව බලය ලැබුණ පළාත් පාලන ආයතනවල සභාව පිහිටුවනවා. සභාව පිහිටු වීමට පොර බදන්න තිබෙන්නේ පළමුව කණ්ඩායම සහ දෙවැනි කණ්ඩායමටයි.

ඒ නිසා එය ලබාගත් කණ්ඩායමට සභා පිහිටු වීමට අයිතියක් තිබෙනවා. එයට අකුල් හෙළන්න, බාධා කරන්න එනවා නම් නීතියේ ඕන තරම් ඉඩ කඩ තිබෙනවා. අපි සෑම විටම ජනවරමට ගරු කරනවා. මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මහ මැතිවරණයට යොදා බැලුවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු එකසිය විසි දෙකක් ඉන්නවා.

එහෙම බැලුවම මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඉදිරියෙන් ඉන්නවා. ජයග්‍රහණය ලැබූ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අපි සූදානම්. එයට අභියෝග කරනවා නම් අපි ඒ අභියෝගය භාරගන්නත් සූදානම්. අපි වග කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයටයි. ඒ නිසා මේ අවස්ථාව අපි අත්නොහැර කටයුතු කරනවා. ඒ සඳහා අප සියලු දෙනාටම ආරාධනා කරනවා.”

කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැති සමරු උළෙල අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments