වෙඩි වැදුනු හල්ලොලුවගේ මෝටර් රථයේ කෙටේරි පහරක සලකුණු.!

ඊයේ රාත්‍රියේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් CCTV දර්ශන පරීක්ෂා කරන බව පොලීසිය පවසයි.

CCTV දර්ශන පරීක්ෂාකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය සහ නාරාහේන්පිට පොලීසියේ කණ්ඩායම් හතරක් යොදවා ඇති බව වාර්තා වෙයි.

ඊයේ (17) රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතිඥවරයා වන දිනේෂ් දොඩංගොඩ ගමන් කරමින් සිටි ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් ජීප් රථය හරස් කර වෙඩි තබා තමන්ව බිය ගන්වා එහි දොරවල් විවෘත කළ බව ඔවුන් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

අනතුරුව තමන්ට පහරදී තමන් සතුව තිබූ ලිපි ගොනුවක්ද රැගෙන නානඳුන පුද්ගලයින් පලාගිය බව හල්ලොලුව මහතා දුන් ප්‍රකාශයේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිදුවීමෙන් සුළු තුවාල ලැබූ තුසිත හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතිඥයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කළේය.

පැමිණි අය ජීප් රථයේ ඉදිරිපස වීදුරුවටද කෙටේරියකින් වැනි යමකින් පහරදී ඇති බව පොලීසිය නිරීක්ෂණය කර තිබේ.

අද උදෑසනත් අදාළ ස්ථානයට පැමිණි SOCO නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරන ආකාරය දක්නට ලැබුණි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසට භාරදී තිබේ.

මේ අතර 2017  – 2019 සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදෙස් රටක මුදල් ආයෝජනයක් කර ඇතැයි ඉකුත් මැයි දෙවැනිදා ඔහු සිදුකළ ප්‍රකාශයක් මතභේදයට තුඩුදුනි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වූ පැමිණිල්ලක් මත තුසිත හල්ලොලුව මහතා කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව මැයි 15 වැනිදා පියවර ගෙන තිබුණි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments