By unusuma.lk on
(LK time)පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සිය පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද පෙනී සිටියේය.
දේශබන්දු තෙන්නකොන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජීව වීරවික්රම පෙනී සිටි අතර ඔහු සඳහන් කළේ, තම සේවාදායකයාට එරෙහිව එල්ල කර ඇති චෝදනා 23න් 17ක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින ඒවා බවයි.
එම නිසා මෙම කමිටුවට විමර්ශනයක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිටියදී අධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබාදුන් බවත් එවැනි අවස්ථාවක මෙම කමිටුවට විමර්ශනයක් සිදු කිරිමට හැකියාවක් නොමැති බව නීතීඥවරයා සඳහන් කරයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, දේශබන්දු තෙන්නකොන් වෙනුවෙන් ඉදිරිපත් කළ සියලුම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් එම ඉල්ලීම් සියල්ල පදනම් විරහිත බවයි.
මෙම විමර්ශනය සිදු කිරීමට නෛතික හැකියාවක් කමිටුව වෙත පවතින බවත් එම කමිටුව පත් කර ඇත්තේ දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කිරීමට බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.
මෙම කමිටුව ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේනගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායකගේ සාමාජිකත්වයෙන් රැස්විය.
සියලු කරුණු සලකා බැලු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේනගේ සභාපතිත්වයෙන් යුක්ත පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කරනු ලැබීය.
ඒ අනුව විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට මෙහිදී තීරණය කළ අතර කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එළඹෙන (28) වැනිදා පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට තීරණය කර ඇත.