හල්ලොලුවගේ නීතිඥවරයා ජංගම දුරකථනය පරීක්ෂාවට ඉඩ නොදෙයි.!

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ තුසිත හල්ලොලුවට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව හල්ලොලුවගේ නීතිඥවරයා වන දිනේෂ් දොඩම්ගොඩගේ ජංගම දුරකථනය බාර දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දැනුම්දීමක් සිදු කර ඇත.

මෙම ඉල්ලීම නීතිඥ දොඩම්ගොඩ විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, වෘත්තීය රහස්‍යභාවය සහ නීතිඥ-සේවාදායක සබඳතාවයේ ආරක්ෂාව පදනම් කරගෙන ඔහු මෙම ඉල්ලීමට එරෙහිව ස්ථාවරයක් ගෙන තිබේ.

නීතිඥවරයෙකු ලෙස ඔහුගේ දුරකථනයේ විවිධ සේවාදායකයින්ගේ තොරතුරු සහ ලිපිගොනු විස්තර ගබඩා වී ඇති බැවින්, එම තොරතුරු රහසිගතව තබාගැනීම ඔහුගේ වෘත්තීය වගකීමක් බව ඔහු අවධාරණය කරයි.


නීතිඥ දොඩම්ගොඩ විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ ලිපියක සඳහන් කර ඇත්තේ, නීතිඥ-සේවාදායක සබඳතාවය (The lawyer-client relationship) යටතේ ඔහුගේ දුරකථනයේ ඇති තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම ඔහුගේ වගකීමක් මෙන්ම අයිතියක් බවයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කර සිටියේ, තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හා නාරාහේන්පිට පොලිසිය එක්ව පරීක්ෂණ සිදු කරමින් සිටින බවත් එම සිදුවීමේ යම් යම් අසාමාන්‍යතා නිරීක්ෂණය වන බවත් ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවෘත මනසකින් යුතුව පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින බවත් කොළඹදී පැවති මාධ්‍ය මහ හමුවක් අමතමින් බුද්ධික මනතුංග මහතා මෙම අදහස් පළ කරන ලදී.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments