පළිගැනීම් පිළිබඳව සොයාබැලීමේදී පළිගැනීම් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කොමිසමේ නිර්දේශ මගින් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක මෙන්ම හිටපු සොලිසිටර් ජනරාල් වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ මූලික අයිතිවාසියක් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව ඇයට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත් කර තිබෙන නිර්දේශ හා සොයාබැලීම් බලරහිත කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ දක්වා තිබේ.

අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ හා සොයාබැලීම් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අචල වෙංගප්පුලි යන  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කෙරුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ පෙත්සම්කාරියට එරෙහිව අදාළ පරීක්ෂණ කොමිසමට ඉදිරිපත් වූ පැමිණිල්ල විභාග කිරීමට එම කොමිසමට නීත්‍යානුකූල බලයක් නොතිබූ බවය. 

ඒ අනුව එම විමර්ශනය මත පදනම්ව කොමිසම විසින් ඇයට එරෙහිව නිකුත් කළ නිර්දේශ හා සොයාබැලීම් නීතියට පටහැනි බවත් තීන්දුවේ සඳහන් වුණි.

ඒ අනුව පෙත්සම්කාරියට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත් කළ නිර්දේශ හා සොයාබැලීම් සියල්ල බලරහිත කිරීමට තීන්දු කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව නියෝග කෙරුණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සාමාජිකයින් වන හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හා නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් වශයෙන් කටයුතු කළ අවධියේ බලය අයථා ලෙස පරිහරණය කරමින් හා රාජ්‍ය සේවයට අපකීර්තියක් වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කළ බවය. 

අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව එම නිර්දේශ නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවත් පෙත්සම්කාරිය කියා සිටියේය.

ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදන ලෙසත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද තිබුණි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments