By unusuma.lk on
(LK time)2012 වසරේ තඹුත්තේගම පොලිසියට එරෙහිව විරෝධතා පාගමනකට සහභාගි වුනේ යැයි තරුණයෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී වධ හිංසා කිරීම තුළින් එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු තඹුත්තේගම පොලිසියේ හිටපු නිලධාරීන් හය දෙනෙකුට රුපියල් ලක්ෂ 12ක වන්දියක් ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) තීන්දු කළා.
ඊට අමතරව මෙම වග උත්තරකාර පොලීස් නිලධාරින්ට එරෙහිව 1994 අංක 22 දරණ කෲර වධ හිංසාවන්ට එරෙහි සම්මුති පනත යටතේ අපරාධ නඩු පැවරීමට තිබෙන හැකියාව පිළිබඳව අධ්‍යයනය කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.
තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි සුසිල් ප්‍රියංක සෙනෙවිරත්න නමැති තරුණයකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු තීන්දුව ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු තඹුත්තේගම පොලිසියේ මීට පෙර සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රසන්න කරුණාජීව, ඒම්.ඩී. ජගත් පාල, එම්.ජී.ටී.බී. අබේසිංහ, උපාලි හෙරත් සහ පොලිස් සැරයන් පී.කේ. ප්‍රේමතුංග යන අය තමන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ දෙක බැගින් පෙත්සන්කරුට ගෙවිය යුතු බවටත් තීන්දුවේ සඳහන් වුණා.
එම වන්දි මුදල් තීන්දුව ප්‍රකාශයට පත්කළ දින සිට මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවටයි අධිකරණය නියෝග කළේ. සිද්ධිය වූ අවස්ථාවේ පෙත්සන්කරු 27 වන වියේ පසුවූ අතර ඔහු තඹුත්තේගම නගරයේ දුරකථන සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි.
2012 වසරේ අගෝස්තු මස 2 වනදා තඹුත්තේගම පොලිසියට එරෙහිව ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකට සහභාගී වුණේ යැයි වග උත්තරකරුවන් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පහරදී අමානුෂික වධ හිංසාවලට භාජනය කර තිබෙන බව නඩු තීන්දුවේ සඳහන් වෙනවා.
එහෙත් මෙම තරුණයා අදාළ පා ගමනට සහභාගි වී නොමැති අතර ඔහු එම අවස්ථාවේ තම වෙළඳ ස්ථානයේ සිටි බවට නඩු විභාගයේදී කරුණු අනාවරණය වී තිබෙනවා.
පොලිස් අත්අඩංගුවේදී වග උත්තරකරුවන් මෙම තරුණයාට යතුරු පැදිකරුවන් පළඳින හෙල්මට් එකකින් හිසට සහ කනට පහරදී ඇති අතර මේ නිසා ඔහුගේ කන් වලින් ලේ වහනය වීමට පටන් ගෙන ඇති අතර කන් බෙරය පැලී ගොස් ඇති බව වෛද්‍ය පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙන බවත් තීන්දුවේ සඳහන් වෙනවා.
මේ හේතුවෙන් ඔහුගේ වම් කනේ ස්ථිර වශයෙන්ම ශ්‍රවණය කිරීමේ හැකියාව අහිමිවී තිබෙන බවත් නඩු තීන්දුවේ ප්‍රකාශ වුණා ඊට අමතරව පෙත්සම්කරුගේ ශරීරයටද බරපතළ තැලීම් හා තුවාල සිදුවී තිබෙන බවත් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා.
මේ තුළින් පෙත්සම්කරු කෲර වධ හිංසනයන්ට භාජනය නොවී සිටීමට ඇති මූලික අයිතිය, අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසානයේදී සිය තීන්දුවේ ප්‍රකාශ කළා.
ඉන් අනතුරුව මෙම නියෝග ප්‍රකාශයට පත් කෙරුණා.