By unusuma.lk on
(LK time)-උණුසුම කතු වැකිය-
ශ‍්‍රී ලංකාව ගෙන්වූ නව එයාබස් යානයේ වයිපරයේ දෝෂයක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එහි වයිපර් ක්‍රියාත්මක නොවන බව සාම්ප්‍රදායික ජල සත්කාර අවස්ථාවේදී දැකගත හැකි වූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම නවතම එයා බස් යානය මෙරටට පැමිණි අවස්ථාවේ එය පහල මට්ටමින් පියාසර කරමින් සිදුකළ ප්‍රවර්ධන කටයුත්ත සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ අදහස වූයේ ගමේ තරුණයෙක් මිලදී ගත් පැරණි බයිසිකල් කටුවක් ප්‍රදර්ශනය කිරීම සඳහා ගම වටේ පැද යෑම වැනි දෙයකි.
මෙම නව එයා බස් යානය ශ්‍රී ලංකන් ගුවන් සේවයට වඩා පහළ මට්ටමේ ගුවන් සේවයක් වන ගරුඩා ගුවන් සේවයට වසර 14ක් බදු දුන් එයා බස් යානයක් වන නමුත් එය රජය රටට ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කළ බවත් පවසමින් මන්ත්‍රීවරයා සමච්චල් කළේය, ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය තව දුරටත් ජනතාවට බරක් කිරීමට යනවාදැයි ඔහු විමසීය.
කෙසේවෙතත් ලෝකේ බහුතරයක් මෙවන් ගුවන් සේවා නව ගුවන් යානයක් හඳුන්වාදීමේදී මෙවැනි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම ලෝකය පිළිබඳ අවබෝධයක් ඇති පිරිස් දන්නා කරුණකි. ඒ අතින් ශ්‍රී ලංකන් ආයතනය සිදුකළ ප්‍රවර්ධන උත්සාහය සාර්ථක බව අපිට පෙනී යයි.
නමුත්, ඇයි පරණ ප්ලේන් එකක්..? ඊට පෙර සොයා බැලිය යුතු ප්‍රායෝගික කරුණු ගණනාවක් ඇත, මේ වනවිට අලුත් ප්ලේන් හැදෙනවද.?, අද ඕඩරයක් දැම්මොත් ප්ලේන් එක ලැබෙන්නෙ කොයි කාලෙකින්ද.?, අලුත්ම එකක් ගන්න අපට සල්ලි තියෙන්වාද.?
ඒ කතාව එතරම් සුන්දර නැත. අපි වගේ රටකට තවමත් ගැලපෙන්නේ ලීස් කරලා ප්ලේන් අරන් දුවන එකයි. පාරෙ දුවන වාහන වගේ නෙවෙයි ප්ලේන් කියන ජාතිය. ඒවා උඩ යවන්න ජාත්‍යන්තරේ පිලිගත්ත තත්ව පරීක්ෂණ ගොඩක් තියෙන්වා. ඒවාට අනුකූල නම් ප්ලේන් එක උඩ යනවා. ඒ කතාව පාට පාට ලයිට් පත්තුවෙන තොරොම්බල් බස් තරම් සරල නැත.
ප්ලේන් එකක් කියන්නේ පාරේ යන එකක් නෙවෙයි, අහසේ යන එකක්. ඒ නිසාම මොකක් හරි අවුලක් ආවොත් පාරේ වාහනේ නවත්තලා බොනට් එක ඇරලා බලනවා වගේ, ප්ලේන් අහසේ නවතා අලුත්වැඩියා කිරීමට බැරිය.
ඔන්න ඔය වගේ හේතු ගොඩක් නිසයි එකක් එකකට සම්බන්ධ නොවී මේ ප්ලේන් වල ගොඩක් සිස්ටම් තියෙන්නේ. එකක් අවුල් ගියොත් අනිකෙන් හරි ඇදන් යන්න පුලුවන් වෙන්නයි ප්ලේන් කියන ජාතිය හදලා තියෙන්නේ. කොටින්ම එක එන්ජින් එකක් ෆෙල් වුනොත් අනිත් එන්ජින් එකෙන් ඇදන් යන්න පුලුවන්.
වයිපරෙත් එහෙමයි. ප්ලේන් එකේ වයිපරේ වැඩ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පර්මිට් එකට බස්සපු බ්‍රෑන්ඩ් නිව් V8 වාහනේක වගේ එක ස්විච් එකකින් නෙවෙයි.
ඒකට කොක්පිට් එකේ පොඩි බොත්තමකුයි කරකවන්න ස්විච් එකකුයි තියෙනවා. ඕං ඕකෙන් තමා වයිපර් දෙක වැඩ කරන්නේ. ඒ වෙලාවෙ හැටියට පයිලට්ලට ඉස්සරහා බලාගන්න එක වයිපරයක් ඇති නම් එකක් ඔන් කරගන්නවා. දෙකම ඔන් කරගන්න ඕනි නම් දෙකම ඔන් කරනවා. සරලවම කතාව එච්චරයි.
මේ සම්බන්ධයෙන් නියම කතාව පැවසූවේ ශ්‍රී ලංකන් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ලසිත් මාලිංග මහතායි. “බෙනේ ඇතුලේ වෙන දේවල් දන්නේ ගිරව් මිස රිලව් නෙවෙයි”
මේ ගෙනාව එයාක්‍රාෆ්ට් එකේ රෙජිස්ට්‍රේශන් එක R4-ALT. මේකෙ 4R කියන්නේ අපේ රටේ කෝඩ් එක. එතකොට L එක ආවේ 330 කාණ්ඩයේ අකුර තමයි ඒක. එතකොට T කියන්නේ ප්ලේන් එකට අදාල අකුර. T කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ 20 වෙනි අකුර. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ගාව 330 ප්ලේන් 20ක් තියෙන්වා කියන එක. ඒකෙන් කියන්නෙ අපි පාවිච්චි කරන 20 වෙනි Airbus 330 ප්ලේන් එක මේක කියන එක විතරයි. මොකද ALA, ALC වගේ ප්ලේන් මේ වෙනකොට ෆ්ලීට් එකේ නෑ. ලීස් කරලා ගෙනාවා, කාලෙ ඉවර වුනාම ආපහු භාර දුන්නා. ඕක ලෝකෙ පිලිගත් ක්‍රමවේදයක්.
ඒ වගේම අමතක කරන්න එපා 2025 එයාලයින් රෑංකිං ලිස්ට් එකේ එයාලයින් සිය දහස් ගාණක් අතරින් අපේ පුංචි රටේ පුංචි එයාලයින් එක ලෝකෙන් ම 20 කියන එක.
එවැනි ජයග්‍රහන වෙනුවෙන් මෙවැනි අවලාද ඉවසගෙන කැපවීමෙන් වැඩ කරන දක්ෂ, පුහුණු ස්ටාෆ් එකක් ඉන්නෙත් රටේ වාසනාවට කියන එක අමතක කරන්න එපා.
කෙසේවෙතත් මෙවැනි අවලාද නගන්නන්ට අපි ලිව යුතුයි, 2025 එයාලයින් රෑංකිං ලිස්ට් එක අරන් බලන්න. හෙන ලොකුයි කියන, ලස්සනයි කියන එයාලයින් කීයක් අපට පහලින්ද ඉන්නේ කියන එක නලීන් බන්ඩාරට වගේම අපේ එයාලයින් එකට ගරහපු, හරහන හැමෝටම පෙනෙයි.
කෙසේවෙතත් මේ ගුවන්යානය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය අප පාඨකයන්ට ගෙන ඒමට අප තීරණය කළෙමු.
ශ්‍රී ලංකන් ගුවන් සේවය පුනර්ජීවනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් නිෂ්පාදිත ඒ330-243 වර්ගයේ පුළුල් බඳ සහිත (Wide Body) නවතම ගුවන්යානය පසුගියදා උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත සම්ප්‍රාප්ත විය.
ප්‍රංශයේ ෂටරූ (Chateauroux) ගුවන් තොටුපොළේ සිට පැය 11ක දිගු ගුවන් ගමනකින් පසු මෙම ගුවන්යානය කටුනායක වෙත ළඟා වූ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමු රජීන් රණතුංග මහතා විසින් එය මෙහෙයවන ලදී.
මෙම ගුවන් ගමනේදී ඉන්ජිනේරුවරුන් ඇතුළු තවත් දස දෙනෙකු කාර්ය මණ්ඩලය ලෙස සහය දී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වූ පසු, මෙම ගුවන්යානය පානදුර සහ මොරටුව ප්‍රදේශ හරහා අඩි 1,000ක පමණ උසකින් පියාසර කරමින් කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්-1202 දරන ලේබලය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නව ගුවන්යානය උදෑසන 10.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළට ළඟා වූ අතර, සම්ප්‍රදායානුකූල ජල ආචාර (Water Salute) පිරිනැමීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බෝයිං-747 හැංගරය වෙත රැගෙන යන ලදී.
මෙම අවස්ථාව සඳහා රැස්ව සිටි විශාල පිරිසකගේ උණුසුම් පිළිගැනීමක් හා අත්පොළොසන් නාදයක් මධ්‍යයේ ගුවන්යානය සිය ගමනාන්තයට ළඟා විය.
මෙම නවතම ගුවන්යානය එක්වීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව දැන් ගුවන්යානා 23ක් පවතින අතර, ඉන් 10ක් පුළුල් බඳ සහිත (Wide Body) ගුවන්යානා වන අතර ඉතිරි 13 පටු බඳ සහිත (Narrow Body) ගුවන්යානා වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ මහතා පැවසූ පරිදි, තවත් පුළුල් බඳ සහිත ගුවන්යානා දෙකක් මිලදී ගැනීම සඳහා දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම නව ඒ330-243 ගුවන්යානය තුළ පිරිමැසුම්දායක පන්තියේ (Economy Class) ආසන 248ක් සහ ව්‍යාපාරික පන්තියේ (Business Class) ආසන 18ක් සවිකර ඇති අතර, මගීන් 266 දෙනෙකුට එකවර ගමන් කිරීමේ පහසුකම් සපයා ඇත.
ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළේ හැංගරය වෙත ළඟා වීමෙන් පසු, විවිධ ආගමික නායකයින් විසින් සර්ව ආගමික ආශිර්වාද පිරිනැමීමේ කෙටි උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සවයේදී ආගමික පූජකවරුන් ගුවන්යානය වෙත පිවිස කෙටි ආගමික වතාවත් සිදු කරන ලදී.
නව ගුවන්යානය විශේෂයෙන්ම දිගු දුර ගුවන් ගමන් සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති අතර, පැය 4කට වඩා කාලයක් ගතවන ඕස්ට්‍රේලියාව, ලන්ඩන්, පැරිස්, ෆෑන්ක්ෆර්ට්, මැදපෙරදිග සහ චීනය වැනි ගමනාන්ත වෙත මෙම ගුවන්යානය යොමු කිරීමට නියමිතය.
මෙම වැදගත් අවස්ථාවට ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු මහතා, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා, සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය පුනර්ජීවනය කිරීමේ වැඩසටහන යටතේ, මෙම නව ගුවන්යානය එක්කිරීම දැවැන්ත පියවරක් ලෙස සැලකෙන අතර, රටේ ගුවන් සේවා අංශය ශක්තිමත් කිරීමට මෙය විශාල දායකත්වයක් සපයනු ඇත.
විශේෂඥයන්ගේ මතය අනුව, ඒ330-243 ගුවන්යානය ඉන්ධන පිරිමැසුම් සහිත, පරිසර හිතකාමී ගුවන්යානයක් වන අතර, දිගු දුර ගමන් සඳහා ඉතාමත් යෝග්‍ය වෙයි.
මෙම ගුවන්යානය එක්වීම හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර ගුවන් සේවා වෙළඳපොළේ තරඟකාරීත්වය වැඩි කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ගුවන්යානය ඊයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර, ඉදිරි සති කිහිපය තුළ ජාත්‍යන්තර ගමනාන්ත වෙත සේවා සැපයීම ආරම්භ කරනු ඇත.
-උණුසුම කර්තෘ-