“අද සංජීවට ගහනවා” මහමොළකාරිය ගෙදරට කලින්ම පණිවිඩේ දීල.!

ගණේමුල්ල සංජීව ඝාතනයේ දැනට අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති දෙවන සැකකාරියගේ මව හා බාල සොහොයුරා පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (පෙබ. 25) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නා ය.

එසේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියම වූයේ එම සැකකාරියගේ මව වන 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති නමැත්තිය හා ඇගේ බාල සොහොයුරෙකු වන මීගමුව කටුවා ඇල්ලේගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පින්පුර දේවගේ චාමික තිවංක වීරසිංහ නමැති අයවලුන් වේ.

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දෙනු ලැබුවේ ගණේමුල්ල ඝාතනය කරන බව කලින් දැන සිට තොරතුරු වසංකර එම සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ පෙරේදා (පෙබ. 24) එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

මෙම සිද්ධියේ දෙවන සැකකාරිය වන මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය, වෙඩික්කරු වන සමිඳු නමැත්තාගේ දුරකතන පණිවිඩ ගිණුමක් හරහා ඉහත සඳහන් කළ බාල සොහොයුරා වන චාමික තිවංක වීරසිංහ නැමැත්තාට කෙටි පණිවුඩ හා දුරකතන ඇමතුම් ලබා දී ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

‘උසාවිය ළඟදී සංජීවට ගහනවා’ යනුවෙන් දෙවන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය එම සැකකාර බාල සොහොයුරාට පණිවිඩ යවා ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.

ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකාර ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ‘වැඩේ ඉවරයි’ යනුවෙන්ද එම බාල සොහොයුරාට තවදුරට ත් දුරකථන පණිවිඩ යවා ඇති බවට තොරතුරු අනාවරණය වන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

ඉෂාරා සෙව්වන්දි නමැති දෙවන සැකකාරිය වෙඩික්කරු වන සමිඳු නමැත්තාගේ පෙම්වතිය බවට අනාවරණය වන නමුත් මේ වන විට බන්ධනාගාරගතව සිටින පුද්ගලයකු සමග ද ඇය පෙම් සබඳතා පවත්වා ඇති බවට අත්අඩංගුවට ගෙන ඇති ඇගේ බාල සොහොයුරාගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

මෙම ඝාතනය මෙහෙය වූ බව කියන මේ වන විට විදෙස්ගතව සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තා ගණේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයෙන් පසුව දෙවන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ ගිණුමකට රුපියල් ලක්ෂ දෙකක් බැර කර ඇති බව ත් ඇය එම මුදල් අත්අඩංගුවට ගෙන සිටින ඇගේ මවගේ හා සොහොයුරාගේ ගිණුම්වලට දමා ඇති බව ත් විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දක්වමින් පැවසූහ.

මෙම සිද්ධියේ දෙවන සැකකාරිය වන සෙව්වන්දි නමැත්තියගේ මව පෞද්ගලික බැංකු ගිණුමක් භාවිත කර ඇති බව ත් ගණේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයෙන් පසුව දෙවන සැකකාරිය පළා යෑමට අවශ්‍ය ඇඳුම් මිල දී ගෙන ඇත්තේ එම ගිණුම හරහා බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට ත් කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියේ දෙවන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව හා බාල සොහොයුරා පැය 24ක් එසේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා ය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.