ලෝක කිරුළ දකුණු අප්‍රිකාවට.!

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් 2025 ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 212ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි.

අනතුරුව ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියාවේ සියලු ක්‍රීඩකයින් ලකුණු 207ක් තුළ දැවී ගිය අතර දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 282ක ඉලක්කයක් හිමිවිය.

තරගයේ 4වන දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලකුණු 213ක් රැස්කරගෙන ජයග්‍රහණයට ලකුණු 69ක් පසුපසින් සිටියේය.

පන්දුවට පහරදුන් ඒඩියන් මාක්‍රම්, දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ නියමුවා වෙමින් පන්දු 207කදී ලකුණු 136ක් රැස්කරගෙන සිටියදී ජය පෙනෙන මානයේ දැවී ගියේය.

අනතුරුව ලකුණු 282ක ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී තිබියදී පසුකර යෑමට දකුණු අප්‍රිකාව සමත් වු අතර තරග අවසානයට දින එකහමාරක් පමණ ඉතිරිව තිබියදී ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ අනුව ලෝක ශූරයන් සඳහා පිරිනමන අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 108ක්) ත්‍යාග මුදලට හිමිකම් කීමට දකුණු අප්‍රිකාවට හැකිවිය.

දකුණු අප්‍රිකාව සිය ක්‍රිකට් ඉතිහාසයේ කුමන හෝ ආකෘතියකින් ලෝක කුසලානයක් දිනාගත් පළමු හා එකම අවස්ථාව ලෙසින් අද වාර්තා පොත් අතරට එක්විය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments