By unusuma.lk on
(LK time)කුරුණෑගල ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක දෙමළ භාෂාව උගන්වන ගුරුවරියක් විසින් පන්ති කාමරයේ කොස්සක් කැඩීම හේතුවෙන් 12 හැවිරිදි සිසුවියකට දරුණු ලෙස පහරදීමක් සිදු කර ඇති අතර, එම සිසුවිය දැන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොල්පිතිගම පොලීසිය වාර්තා කරයි.
ඉරුදෙණියාව, තලාකොළවැව ප්‍රදේශයේ පදිංචි හය වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවියට පාසලේ දෙමළ භාෂා ගුරුවරිය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (12) සහ සිකුරාදා (13) යන දෙදිනම අතින් පයින් පහර දී ඇති බව පොලීසිය සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට, සිසුවිය අතින් පන්ති කාමරයේ තිබූ කොස්සක මිට කැඩීම හේතුවෙන් ගුරුවරිය පළමුවෙන් ඇයට පහර දී ඇත.
පසුව, කැඩුණු කොස්ස වෙනුවට අලුත් කොස්සක් නොගෙන ඒම පිළිබඳව දෝෂාරෝපණය කරමින් එම ගුරුවරියම පසුදින ද ඇයට නැවත වරක් පහර දී ඇති බව පැවසේ.
සිකුරාදා දින (13) පාසල නිමවී නිවෙසට ගිය සිසුවිය තමන්ට හිසේ අමාරුව බව පවසමින් වමනය දමන්නට පටන් ගෙන ඇත. ඒ පිළිබඳව විමසීමේදී පාසලේදී ගුරුවරිය සිදු කළ පහරදීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු ඇය මවුපියන්ට අනාවරණය කර තිබේ.
සිසුවියගේ පැවසීම අනුව, තම පන්තියේ අනෙකුත් සිසු සිසුවියන් එම පහරදීමට විරෝධය පළ කර ඇතත්, එය නොසලකමින් ගුරුවරිය තමන්ට පහර දී දණ ගස්සවා සිටි බව ද සිසුවිය මවුපියන්ට පවසා තිබේ.
මවුපියන් විසින් දැක්වූ පරිදි, දුරබැහැර ප්‍රදේශයක සිට සිසු සැරිය පාසල් බස් රථයකින් පැමිණීමේදී ඇතිවන අපහසුතාව මත ඇයට බසයෙන් කොස්සක් රැගෙන ඒමට නොහැකිව තිබූ බවත්, එම කරුණ නොසලකමින් අදාළ ගුරුවරිය ඉතා දරුණු ආකාරයට ඇයට පහර දීම සිදු කර ඇති බවත් පැවසේ.
මේ සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසියට පැමිණිලි කළ මවුපියන් රෝගාතුර සිසුවිය ප්‍රතිකාර සඳහා පොල්පිතිගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතත් රෝහල් බලධාරීන් ඇයගේ තත්ත්වය සැලකිල්ලට ගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය සහ අදාළ ජාත්‍යන්තර පාසල පිහිටි බලප්‍රදේශය අයත් කුරුණෑගල, දොරටියාව පොලීසිය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.
පාසල් පරිසරය තුළ සිසු දරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා මෙවැනි සිදුවීම් පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ප්‍රදේශවාසීන් අවධාරණය කරති.