By unusuma.lk on
(LK time)පසුගිය 2016 වසරේ සිට 2024 අතර කාලයේදී මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ජාවාරම්කරුවන් සමග එකතු වී රුපියල් කෝටි 300කට අධික රේගු බදු ආදායමක් රජයට අහිමි කර ඇතැයි රජයේ විගණනයේදී හෙළි වී ඇත.
මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ජාවාරම්කරුවන් සමග එකතු වී අට්රැක්ටර්, යතුරු පැදි, මරුටි වැනි කුඩා මෝටර් රථවල ලියාපදිංචි අංක යටතේ අති සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කරමින් මෙම වංචාව සිදුකර ඇති බවද රජයේ විගණනයේදී හෙළි වී ඇත.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු ඇතැම් කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ජාවාරම්කරුවන් සමග එක්වී රජයට හිමිවිය යුතු රේගු බදු ආදායම මෙලෙස අහිමි කරමින් කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවද විගණනයේදී හෙළි වී ඇත.
වාහන 400කට අදාළව පමණක් රුපියල් කෝටි 300කට අධික බදු ආදායම අහිමි වී ඇති අතර කූට ලේඛන සකසා සුඛෝපභෝගී වාහන 1500ත් 2000ත් අතර ප්රමාණයක් කුඩා වාහනවල ලියාපදිංචි අංක යටතේ පරිගණක දත්ත වෙනස් කර ලියාපදිංචි සහතික නිකුත් කර ඇති බවද විගණනයේදී හෙළි වී ඇත.
මොන්ටේරෝ, V-8, ප්රාඩෝ, ලෑන්ඩ් කෲසර් වැනි අති සුඛෝපභෝගී වාහන පිටින්ම හෝ කොටස් වශයෙන් රේගුවෙන් නිදහස් කර පසුව අට්රැක්ටර්, යතුරු පැදි හා වෙනත් කුඩා මෝටර් රථවල පොත් ගෙන සුඛෝපභෝගී වාහනයේ වැසි අංක, එන්ජින් අංක ඇතුළු දත්ත ඊට ඇතුළත් කර පැරැණි අංක යටතේම වාහන පොත් නිකුත් කර ඇති බවද හෙළි වී ඇත.