නැඳගමුවේ හිමි ඝාතනයේ මහ මොළකාරිය ගුවන්තොටේදී කොටු වෙයි.!

සීදුව, වැත්තෑව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් ගෙල සිර කර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ වූ ප්‍රධාන සැකකාරිය වසර තුනකට පසු ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් වී තිබේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණ කාන්තාවක් වන මෙම සැකකාරිය, 2022 සැප්තැම්බර් 14 වැනි දින සිදු වූ මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ වී ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය විය.

2022 සැප්තැම්බර් 14 වැනි දින සිදු වූ මෙම ඝාතනයෙන් මියගියේ සීදුව වැත්තෑව ප්‍රදේශයේ ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නැඳගමුවේ මහානාම හිමියන් බව පොලිසිය නිවේදනය කර තිබේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමක් විසින් බවත්, එම හිමිනම සමඟ විදේශගත කාන්තාවක් සබඳකම් පවත්වා කුමන්ත්‍රණය කර මෙම විහාරාධිපති හිමිනම ඝාතනය කර ඇති බවත් පොලිස් විමර්ශන මගින් අනාවරණය විය.

ඉහත කී විහාරාධිපති හිමියන් ඝාතනය කර ඇත්තේ විහාරස්ථානයේ ලැගුම්ගෙය තුළදී මුඛයට සිවුරක් ඔබා, ගෙල ඇඳ ඇතිරිල්ලකින් ගැට ගැසීමෙන් බවට පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

දුර්ගන්ධයක් විහාරස්ථානය තුළින් වහනය වන බවට ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම් දීමෙන් පසු, විහාරාධිපති හිමියන්ගේ මළ සිරුර ලැගුම් ගෙය තුළ තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සිද්ධියෙන් පසු දිනයේ, එනම් 2022 සැප්තැම්බර් 15 වැනි දින, ඝාතනයට සම්බන්ධ සැකකාර හිමිනම ඩුබායි බලා යෑම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර සැකකාර හිමිනම විහාරාධිපතිගේ ගෝලයෙකු බව පසුව අනාවරණය විය.

විමර්ශනයේදී වැඩිදුරටත් හෙළිවූයේ ඩුබායි රාජ්‍යයේ සිටි කාන්තාවක් මෙම ඝාතනයට කුමන්ත්‍රණය කර ඇති බවත්, එම කාන්තාව සහ සැකකාර හිමිනම අතර පැවති සබඳතාවය ඝාතනයට හේතු වී ඇති බවත්ය.

පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් මෙම සැකකාරිය සම්බන්ධයෙන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකාරියට එරෙහිව ගුවන්ගමන් තහනමක් නියෝග කරවාගෙන තිබිණි.

මෙම සිද්ධියෙන් වසර තුනකට පමණ පසුව, සැකකාරිය ඩුබායි සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණි අවස්ථාවේදී, ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් විසින් ඇය හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකාරිය පසුව සීදුව පොලිසියට භාර දී ඇත.

පසුගියදා (13 වැනිදා) සැකකාරිය මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව ද වාර්තා වේ.

විමර්ශන නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව, මෙම ඝාතනයට පසුබිම් වූයේ සැකකාර හිමිනම සහ අත්අඩංගුවට ගත් කාන්තාව අතර පැවති පෞද්ගලික සබඳතාවකි.

මෙම සබඳතාවය නිසා ඇති වූ ආරවුල් තත්ත්වයක් හේතුවෙන් විහාරාධිපති හිමියන් ඉවත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

Loading

We are happy to invite you.