වියළි කළාපයේ සංගීත ප්‍රසංගයක් යුධ පිටියක් වෙයි.. කෝටි 3ක සංගීත භාණ්ඩත් විනාශ කරයි.!

ඊයේ (14) රාත්‍රීයේ දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇතිවූ කළහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා සහභාගී වන බවට ප්‍රකාශ වී තිබු ගායකයින් දෙපළක් සංගීත සංදර්ශනය සඳහා සහභාගී නොවීම හේතුවෙන් මෙම කළහකාරී තත්ත්වය හට ගෙන ඇත.

සංවිධායක මණ්ඩලය පවසන්නේ ජනප්‍රිය “වස්ති” ශිල්පීන් දෙපළ සහ දැනට අත්අඩංගුවේ පසුවන “ශාන් පුතා” යන ශිල්පීන් ප්‍රසංගයට සහභාගී නොවීම මත රසිකයන් කෝපයට පත්ව ප්‍රසංගයේ දේපොළ සහ උපකරණ සියල්ල විනාශ කර දැමූ බවයි.

වාදනය සඳහා ජනප්‍රිය “AVATAR” සංගීත කණ්ඩායම මෙම ප්‍රසංගයට සහභාගී විට ඇති අතර කලාකරුවන් කිහිපදෙනෙක් නොපැමිණීම හේතුවෙන් එම අඩුව පිරවීම සඳහා සංගීත කණ්ඩායම අළුයම 1.30 වනතෙක් වාදනය කළ බවද පැවසේ.

කෙසේවෙතත් කෝප වූ ප්‍රදේශයේ ජනතාව සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩ පවා විනාශ කර ඇත.

ප්‍රසංගය සඳහා රුපියල් 1,000 සහ 2,500 ලෙස ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයින් එම මුදල සඳහා සාධාරණයක් නොකළ බව පවසමින් මෙම ගැටුම ආරම්භකර තිබේ.

එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරීන් 45 දෙනෙකු පමණ යොදවා තිබුණ ද ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට ද නොහැකි වී ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් ප්‍රසංගයේ සංවිධායකයින් විසින් පෙරොන්දු වූ මුදල ලබා නොදීම හේතුවෙන් අදාළ ගායකයින් දෙපළ ප්‍රසංගය සඳහා සහභාගී වී නොමැති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණ වූ බව මැදිරිගිරිය පොලීසිය සඳහන් කළේය.

Loading

We are happy to invite you.