By unusuma.lk on
(LK time)පසුගියදා පැවති මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා විශේෂ අනාවරණයක් සිදුකරමින් පවසා සිටියේ, උග්‍ර හෙද හිඟය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ හෙදියන් සිය ජීවිත හානි කර ගැනීමේ අවදානමට පත්ව තිබෙන බවයි.
සිය දරු පවුලේ වගකීම් පවා අතහැර රාජකාරියට කැපවීම සිය ජීවිත හානි කර ගැනීමට බලපා ඇති බව ඔවුන්ගේ වාචික දුක්ගැනවිලිවලට අනුව ප්‍රකාශ කෙරෙන බව එහිදී රෝහලේ අධ්යක්ෂවරයා අවධාරණය කළේය.
පවතින කාර්ය මණ්ඩල හිඟයෙන් ඇතැම් ශ්‍රේණිවල නිලධාරීන්/නිලධාරිනීන්ට පැය 18ක් සේවය කිරීමට සිදුව තිබෙන බවත් දරුවන්ට සිය පවුල සමග පැය 06 ක් ගත කිරීමට පවා නොලැබෙන අවස්ථා තිබෙන බවත් පැවසූ රෝහල් අධ්යක්ෂවරයා 2017 වසරේ අනුමත කාර්ය මණ්ඩලය වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය කිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදීම අවස්ථා ගණනාවක දී ප්‍රතික්ෂේප කිරීම කාර්ය මණ්ඩල හිඟය උග්රවීමට බලපා තිබෙන බව ද වැඩිදුරටත් පැවසීය.
මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය කළ මාතලේ දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගෙන ඇති අතර එහි වාට්ටු සංකීර්ණය ඇඳන් 850කි.
රෝහල සඳහා ඇස්තමේන්තුගත ගෙද කාර්ය මණ්ඩලය 713ක් වන නමුත් එහි 430ක හිඟයක් පවතියි.
එමෙන්ම 345ක කනිෂ්ඨ කාර්ය මණ්ඩලයක් අවශ්‍ය නමුත් 134ක හිඟයක් පවතියි.
එමෙන්ම අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩලය 280ක් වන අතර එහි 131 ක හිඟයක් පවතියි.
මෙම තොරතුරු අනාවරණයෙන් පසුව පවතින සේවක හිඟය පිළිබඳව ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් දැනුවත් කර වහාම පිළියම් යෙදීම සඳහා කමිටුවේදී නිර්දේශී විය.