By unusuma.lk on
(LK time)අක්මීමන ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළ බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා හැට එක්වන වියේ පසුවූවෙකි.
එක්දරු පියෙක් වූ සිරිදත් මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දශක හතරකට වැඩි කාළයක් සේවය කළ තම රාජකාරිය අකුරට කළ පුද්ගලයෙක් ලෙස එම දෙපාර්තමේන්තුව තුළ පමණක් නොව සිරකරුවන් අතර ද ජනප්‍රිය චරිතයකි.
තම සේවා කාලය තුළ ඔහු බන්ධනාගාර කිහිපයකම සේවය කළ හෙතෙම අවසන් වරට රාජකාරි කටයුතු සිදු කළේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙසින්ය.
බූස්ස බන්ධනාගාරය යනු නමගිය දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින ස්ථානයකි. කංජිපානි ඉම්රාන්, හරක් කටා, පොඩි ලැසී, ගණේමුල්ල සංජීව වැනි දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටියේ ද මෙම බන්ධනාගාරය තුළයි.
නීතිය අකුරට ක්‍රියාත්මක කළ මෙම අධිකාරිවරයා සමග බහුතරයක් සිරකරුවන් සිටියේ බද්ධ වෛරයකින්ය. එම ලැයිස්තුවේ පොඩි ලැසී පෙරමුණින්ම සිටියේය. අවස්ථා කීපයකදීම මෙම අධිකාරිවරයාට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මරණ තර්ජන පවා එල්ල තිබුණි. එහෙත් ඒවා තඹ සතේකට මායිම් නොකර ඔහු තම රාජකාරි කටයුතු සිදු කළේය.
එපමණක් නොව දූෂිත බන්ධනාගාර නිලධාරීන්ට ද ඔහුගෙන් ගැලවුමක් තිබුණේ නැත. අවස්ථා කිහිපයකදීම දූෂිත නිලධාරීන් කිහිපදෙනකුගේම සේවය අත්හිටුවීමට ඔහු කටයුතු කළේය.
එම නිසා අපරාධකරුවන් පමණක් නොව දූෂිත බන්ධනාගාර නිලධාරීන් ද ඔහු සමග වෛරයකින් කටයුතු කළේය.
පසුගිය වසරේ මාර්තු මාසයේ විශ්‍රාම ගිය සිරිදත් මහතාට අක්මීමන ඉහළගොඩ ප්‍රදේශයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි සලක් ද තිබුණි. විශ්‍රාම ගිය පසු එම ව්‍යාපාර කටයුතු සඳහා ඔහු කාලය යොමු කළේය.
එහෙත් ඔහුගේ විරුද්ධවාදීන් එම වෙළෙඳසලට පවා ගිනි තබා විනාශ කිරීමට අකාරුණික වූහ.
සිරිදත් සේවයේ නියුතුව සිටි කාලයේදී ඇප ලබා නිදහස්ව විදෙස් රටකට පැන ගිය පොඩි ලැසී නමැති සංවිධානාත්මක අපරාධකරු වරක් පවසා සිටියේ “බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ සිට ඕනෑම නිලධාරියකු මරා දැමීමට තමා දෙපාරක් නොසිතන බවත්, තමාට විරුද්ධ වූ ජේලර්වරයා මරා දැමූ බවත්ය.” එලෙසම පොඩී ලැසි කිහිප වරක්ම සිරිදත්ට මරණ තර්ජන එල්ල කර තිබුණි. සිරිදත් සුපුරුදු පරිදි මේ කිසිවක් ගණන් නොගෙන තම දෛනික වැඩකටයුතු සිදු කරගෙන ගියේය.
දිනය පසුගිය දහතුන් වැනිදාය. වේලාව සවස හතර පසු වී තිබුණි. සිරිදත් තම නිවස ඉදිරිපිට ගෙවත්ත උදලුගාමින් සිටියේය. එක්වරම යතුරුපැදියක් ඔහු අසලට පැමිණ නැවැත්තුවේය.
එහි පුද්ගලයන් දෙදෙනකු සිටියේය. සිරිදත් ඔවුන් දෙස බැලුවේ කවුරුන්ද යන්න හඳුනා ගැනීමටයි. ඒ ක්ෂණයෙන්ම යතුරු පැදියේ පසුපස සිටි පුද්ගලයා ඔහු ඉලක්ක කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළේය.
අනපේක්ෂිත එම වෙඩි ප්‍රහාර හමුවේ ඔහුට කිසිවක් කර ගැනීමට නොහැකි විය. පණ බේරා ගැනීමට පියවර කිහිපයක් ඉදිරියට දිව ගියත් ඔහුව කපා හෙලූ කෙසෙල් කඳක් මෙන් බිම ඇද වැටුණි.
ඉන් පසු ලේ විලක් මැද ජීවිතයත් මරණයත් අතර සටනක ඔහු නියැළුණි. ඒ අතරතුර තම ඉලක්කය සපුරා ගත් අපරාධකරුවන් කිසිදු බියක් සැකක් නොමැතිව එම ස්ථානයෙන් පැන ගත්තේ තවත් මිනිස් ජීවිතයක් බිල්ලට ගනිමින්ය.
ඉන් පසු වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයාව 1990 ගිලන් රථයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට අසල්වැසියෝ කටයුතු කළහ. එහෙත් පලක් වූයේ නැත. ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණි.
පසුව ඝාතනය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන සිදුකළහ. එහිදී අනාවරණය වූයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් මෙම ඝාතනය සිදුකර පලා ගොස් ඇති බවයි.
ඒ අනුව සිදු කළ වැඩිදුර පරීක්ෂණවලදී යක්කලමුල්ල ප්‍රදේශයේ සීතලදොළ ආරණ්‍ය සේනාසනය පාරේ කටු පොල් වත්තක දමා ගොස් තිබියදී සැකකටයුතු යතුරුපැදි දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබුණි.
එම යතුරුපැදි දෙකින් මෙම සිද්ධියට සම්බන්ධ ඝාතකයන් පැමිණ ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ඒ අනුව එම ප්‍රදේශයේ විශේෂ පොලිස් මෙහෙයුමක් සිදු කළත් මෙම ලිපිය ලියන විටත් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවී තිබුණි.
පොලිසිය එලෙස පරීක්ෂණ පවත්වද්දී මෙම ඝාතනය පළමුව පොඩි ලැසීගේ ගිණුමට බැරවී තිබුණත් පසුව එය කරන්දෙණිය සුද්දාගේ අනු දැනුම මත සිදුවූවක් බවට තොරතුරු හෙළි වී තිබේ.
එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඝාතනය කළ මෙම බන්ධනාගාර අධිකාරිවරයා තම සේවා කාලයේදී බූස්ස බන්ධනාගාරයේ සිටි කරන්දෙණිය සුද්දාගේ විරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් කිහිපදෙනෙකුට උදව් උපකාර කිරීම නිසා හටගත් ආරවුලක් නිසා බව පැවසේ.
බන්ධනාගාර අධිකාරිවරයාගේ ඝාතන සිද්ධිය එසේ තිබියදී ‘ශාන් පුතා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ප්‍රසිද්ධ රැප් ගායකයකු සහ ඔහුගේ කළමනාකරු ද පසුගිය දාහතර වැනිදා පොලිස් අත්අඩංගුවට පත්විය.
ඒ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් ඔහු සන්තකයේ තිබීම නිසාවෙනි. එම පිස්තෝලය ඔහුට ලබා දී ඇත්තේ බණ්ඩාරගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු විසින්ය. එම පොලිස් කොස්තාපල්වරයාව ද අත්අඩංගුවට ගෙන පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ඒ අනුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඝාතනය කිරීම සඳහා මෙම පිස්තෝලය භාවිතා කර ඇත්ද යන්න පිළිබඳවත් පොලීසිය සැක පල කරයි.
කෙසේවෙතත් සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදු කරමින් පවතී.