By unusuma.lk on
(LK time)මීට සති කිහිපයකට පෙර සංජීව කුමාර සමරත්න නොහොත් ගණේමුල්ල සංජීව කොළඹ අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ මෙහෙයුමේ වෙඩික්කරු සෙවීමේ වගකීම කොමාන්ඩෝ සලින්ද විසින් බාරගෙන තිබුණු අතර එය පවරා ඇත්තේ මෙරට සිටින පාතාල සාමාජිකයකු වන යොහාන් අනුෂ්ක ජයසිංහ හෙවත් “යෝ-යෝ” නැමති තැනැත්තෙකුට බව පැවසෙයි.
යෝ-යෝ යනු කලක් කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ අවුරුදු 24 ක තරුණයෙක් වන අතර ඔහුට මෙරට පාතාලයේ විවිධ වෙඩික්කරුවන් සමඟ සබඳතා ඇති බවත් එහිදී දීර්ඝ සොයා බැලීමකින් පසුව සමිඳු දිල්ශාන් පියුමංග කඳනාරච්චි නමැති තමාට වඩා කණ්ඩායම් දෙකකින් ජ්‍යෙෂ්ඨ වූ කොමාන්ඩෝ බලකායේ එවකට සේවය කළ පුද්ගලයා සම්බන්ධ කරගෙන ඇත්තේ යෝ යෝ නමැත්තාගේ තීරණය මත බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් යෝ-යෝ, සංජීවගේ ඝාතනය වෙනුවෙන් මැදිහත්වීම එය පමණක් වූ අතර ඉන් පසුව යෝ-යෝට ඊට වඩා දරුණු මෙහෙයුමක් ලබා දී තිබුණේ කොමාන්ඩෝ සලින්දගේ මැදිහත්වීම මතය.
එම මෙහෙයුම සඳහා යෝ-යෝව ඉතාම ආරක්ෂිතව රැකබලාගෙන තිබූ අතර ඔහුට නවතින ස්ථාන, කෑමට බීමට මුදල් සියල්ල ලබා දී තිබුණේ කෙහෙල්බද්දර පද්මේගේ ඩුබායි සිටින ඥාති සහෝදරයකු මාර්ගයෙනි. මෙලෙස රැකබලා ගත් හේතුව වූයේ යෝ-යෝට ලබාදුන් කොන්ත්‍රාත්තුවකි. ඒ නේපාලයට ගොස් ඝාතනයක් සිදු කිරීමටය.
එම කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ කොමාන්ඩෝ සලින්ද බව කියති. එනම් නේපාලයේ සිටින තම මවටත් නැගණියටත් කිසියම් පුද්ගලයකු විසින් බැණ තර්ජනය කිරීම නිසා එම පුද්ගලයා ඝාතනය කර පැමිණෙන ලෙසට කොමාන්ඩෝ සලින්ද, යෝ-යෝට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබිණි. එම කොන්ත්‍රාත්තුව බැහැර කිරීමට බැරිකමට යෝ-යෝ එය බාරගෙන තිබුණේ කොමාන්ඩෝ සලින්ද විවිධ අවස්ථාවලදී ඔහුට උදව් උපකාර කළ බැවිනි.
ඒ අනුව යෝ-යෝට නේපාලයට යෑමට ගුවන් ටිකට්පත්, නැවතීමට හෝටල් සියල්ල සලින්ද විසින් වෙන්කර තිබූ අතර මග වියදම සඳහා ලක්ෂ දෙකහමාරක් තම්මිට අවිශ්ක ලබා දී තිබිණි. අදාළ දිනය වන විට නේපාලයට බැසගත් පසුව එරට සිටින අයකු විසින් ගිනි අවිය ලබාදීමටත්, ඉන් පසුව සුරක්ෂිතව ලංකාවට පැමිණීමටත් සියලු පහසුකම් සපයා දී තිබිණි. එහෙත් එම ඝාතනය සිදු කිරීමේ අරමුණින් විදෙස් ගතවන විට සැකකරු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය යටතේ පොලිසියට හැකි විය. එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ සෙව්වන්දිගේ දුරකථන සම්බන්ධතාවක් මාර්ගයෙනි.
එනම් සෙව්වන්දි ඇතුළු පිරිස ගණේමුල්ල සංජීව ඝාතනය සිදු කළ පෙබරවාරි 19 දාට පෙර දින එනම් 18 දා අලුත් සිම්පතක් මිලදී ගෙන තිබූ අතර එම සිම්පත මගින් 18 දින සවස 6.30, 10.30, 12.30 යන වේලාවන්හිදී එකම අංකයකට ඇමතුම් ලැබී තිබූ අතර ඒ අංකයෙන් සෙව්වන්දිගේ අංකයට ඇමතුම් ලබා දී ඇති අයුරු පොලිසියට නිරීක්ෂණය විය. පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී හෙළිවූයේ එම දුරකථන අංකය පන්නිපිටිය ප්‍රදේශයේ අයකුගේ බවයි. පසුව පොලිසිය සැකකරු සොයාගෙන ගියද සැකකරු එම නිවසේ සිට නැත. කෙසේ වෙතත් නැවත පරීක්ෂා කිරීමේදී හෙළි වී තිබුණේ සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේ නිවෙසක ජීවත් වන බවය. පසුව එම ස්ථානය වටලා පරීක්ෂා කරන විට එය කොමාන්ඩෝ සෙබළකුගේ නිවෙසක් බවට අනාවරණය විය.
එම නිවසේ සිටියේ කොමාන්ඩෝ එකෙන් පැන ආ ‘වෙන්ටා’ නැමති අයෙකි. ඒ අනුව පොලිසිය එම සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබුණේ සෙව්වන්දි ඉහත ඇමතුම් ලබාගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ඉල්ලීමට බවයි. කෙසේ වෙතත් සංජීවට වෙඩි තැබූ පුද්ගලයාත් මෙම සැකකරුත් මිතුරන් බව අනාවරණය වී ඇත. පසුව පොලිසිය තවදුරටත් කොමාන්ඩෝ වෙන්ටාගෙන් ප්‍රශ්න කරන විට ඔහු සඳහන් කර ඇත්තේ මේ සියලු දෙනා සම්බන්ධ කර තිබුණේ යෝ-යෝ බවටය.
ඒ අනුව අදාළ සැකකරුගෙන් යෝ-යෝ පිළිබඳ විමසීමේදී යෝ-යෝ සිටින තැන අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය. එහෙත් පොලිසිය එම ස්ථානයට ගියද යෝ-යෝ එහි නොසිටියේය. නමුත් සිදු කළ විමර්ශනවලට අනුව අවසානයේ ඔහුව ගුවන්තොටේදී අල්ලා ගැනීමට පොලිසියට හැකි විය. කෙසේ වෙතත් පොලිසියට එය ඒ මොහොතේ මගහැරුණා නම් නියත වශයෙන්ම යෝ-යෝ නේපාලයට ගොස් එම ඝාතනය සිදු කරනු ඇත. දෛනිකව දිනකට හෙරොයින්, අයිස් ග්‍රෑම් 5 ක් පමණ පානය කරන මෙම සැකකරුට කොමාන්ඩෝ සලින්ද විවිධ අවස්ථාවල ලබාදුන් මුදල් නිසා එම ඝාතනයට කැමැත්ත දීමට සිදුවී ඇත. ඒ අනුව සැකකරු අදාළ ඝාතනය සිදුකර නැවත ලංකාවට පැමිණීමට සූදානම් වී තිබිණි. කෙසේ වෙතත් කොමාන්ඩෝ සලින්දට කොමාන්ඩෝ සෙබළුන් සම්බන්ධ කර දී තිබුණේ යෝ-යෝ බව සැකකරුගේ පාපොච්චාරණ මත හෙළිදරව් විය. පොලිසිය පැවසුවේ තවත් එවැනි හිටපු කොමාන්ඩෝ සෙබළුන් සහ දැනට සේවයේ නියුතු කොමාන්ඩෝ සෙබළුන් පිරිසක් ගැන සැකකරු කරුණු අනාවරණය කර ඇති බවකි. ඔවුන් බහුතරයක් මත්ද්‍රව්‍යවලට ගොදුරු වී ඇති බවද පොලිසියට අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් අදාළ පුද්ගලයන් නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මෙම සියලු අත්අඩංගුවට ගැනීම් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, ගම්පහ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ, විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන් ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත බස්නාහිර උතුරු දිසා අපරාධ විමර්ශන ඒකකය බාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ඇතුළු නිලධාරීහු සිදු කරති.
[දේශය]