By unusuma.lk on
(LK time)වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද (18) නියෝග කළේය.
එමෙන්ම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ද ලබා දුන්නේය.
වැලිකන්ද පොලිසිය මගින් මීට මාස කීපයකට පෙර අත්අඩංගුවට ගත් එල ගවයින් විසිදෙනෙකු, සැකකරුවන් දෙදෙනකු සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම එළ ගවයන් රජයේ ගොවිපලකට භාරදීමට නියෝග කර තිබියදී, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණීමේ සිද්ධියක සම්බන්ධයෙන් අදාළ ස්ථානාධිපතිවරයා චෝදනා ලැබ සිටී.
අදාල සිද්ධිය සම්බන්ධ වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව නිර්නාමික පෙත්සමක් මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයාට කරුණු සැලවීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ පෞද්ගලිකව සොයා බලා තිබේ.
ඒ අනුව එහි විමර්ශන කටයුතු සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට සහ උතුරු මැද ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරයා විසින් බාරදී තිබිණි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය මගින් අද (18) අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ප්‍රධාන සැකකරු වන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා සැඟව සිටින බවට උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය මගින් අධිකරණයට දැනුම් දී ඇත.