අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා විශේෂඥ මට්ටමේ අදියරකට පිවිස ඇති බවත් එහිදී ආර්ථිකය, මිලිටරි, නීතිමය සහ න්‍යෂ්ටික ගැටළු පිළිබඳ විශේෂඥ කමිටු එකිනෙකා හමුවන බවද ඉරාන රජය “X” සටහනක් තබා ඇත.
අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පාකිස්තානු වේලාවෙන් රාත්‍රිය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර එය ඉරිදා දිනය දක්වාම පැවැතිය හැකි බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය ඇමරිකාව සමඟ සාකච්ඡා සඳහා එළඹ ඇත්තේ මෙතෙක් අත්හිටුවා තිබූ ඉරාන වත්කම් නිදහස් කිරීමට අමෙරිකාව ගත් තීරණයකට අනුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන දූත පිරිසට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේ, මෙම වත්කම් නිදහස් කිරීම ඉරානය ඉදිරිපත් කළ කරුණු 10 කින් යුත් සැලසුමේ ප්‍රධාන ඉල්ලීමක්ව පැවති බවයි.
කෙසේ වෙතත් අදාළ වත්කම් නිදහස් කිරීමට එකඟ වූයේද යන්න පිළිබඳව අමෙරිකානු පාර්ශවය මෙතෙක් නිල වශයෙන් කිසිදු අදහස් දැක්වීමක් සිදුකර නැත.

