ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව සිය කනස්සල්ල පළ කර ඇත.
මෙම සමාජ මාධ්‍ය සටහන් මගින් පුද්ගලයින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට උත්සාහ දරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.
අපරාධමය නඩු කටයුතු වලට අදාළව නීතිපතිවරයා අර්ධ අධිකරණමය හෙවත් (quasi-judicial) කාර්යභාරයක් ඉටු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.
විමර්ශන නිලධාරීන් තමන් වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් කරගෙන, සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න හෝ අධිචෝදනා ඉදිරිපත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා තීරණය කළ යුතු බවද සඳහන් කරයි.
අදාළ කරුණු නීත්‍යානුකූලව පිළිගත හැකි සාක්ෂි ද යන්න සහ එම කරුණු මත පදනම්ව වරදකරු කිරීමේ සාධාරණ සම්භාවිතාවක් පවතින්නේ ද යන්න සලකා බැලීමට නීතිපතිවරයාට සිදුවන බවද සඳහන් කරයි.
නීතිපතිවරයාගේ තීරණ, අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥාවක් මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් සමාලෝචනය කළ හැකි බවද සඳහන් කරයි.

