නීතියට පටහැනිව ලබාදුන් බාර් ලයිසන් ගැන පෙත්සම් විභාගයට.!

සුරාබදු පනතට පටහැනිව මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් හිටපු මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් 2ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දින අවසර ලබාදුන්නේය.

ජනාධිපතිවරණය කැඳවූ දා සිට පැවති දින දක්වා කාලසීමාව තුළ මෙන්ම ඉකුත් වසර තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළේය.

මාතලේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන තංගවේලු ධනේන්ද්‍ර රාජා ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණ අතර එම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර ඇත.

පසුගිය වසරේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ ජුලි මස (26) සහ ජනාධිපතිවරණය පැවැති සැප්තැම්බර් මස (21) වනදා අතර කාලසීමාව තුළ වගඋත්තරකරුවන් විසින් නීතියට පටහැනි ආකාරයට අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කර තිබෙන බවට පෙත්සන්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සංජීව ජයවර්ධන සහ සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරුන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

දේශපාලකයින්ගේ හිතවතුන්ට හා ආධාරකරුවන්ට මෙසේ මත්පැන්හල් බලපත් නිකුත් කර තිබෙන බවත් හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ 19 හැවිරිදි පුත්‍රයාටද මේ යටතේ මත්පැන්හල් බලපත්‍රයක් නිකුත් කර තිබෙන බවද ජනාධිපති නීතිඥවරුන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, හිටපු සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments