By unusuma.lk on
(LK time)ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ මෙරට මුහුදු තීරයේ මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ජල ප්‍රවාහයන් භාවිතා කරමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ පුත්තලම – කොටුව, කොටුව – ගාල්ල, ගාල්ල – මාතර ආදී වශයෙන් සමුද්‍ර ජල ප්‍රවාහන සේවයක් ඇති කිරීම සඳහාත් ඊට අවශ්‍ය යටිතල පහසුකම් ඇතිකිරීම මගින් සංචාරක ප්‍රවර්ධනය සහ මගී ප්‍රවාහන පහසුකම් සැලසීමටත් අපේක්ෂා කරන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව ජල මූලාශ්‍රයන්ගෙන් සහ ජල ප්‍රවාහයන්ගෙන් පෝෂිත රටක් වන බැවින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙන්ම නාගරික මගී ප්‍රවාහනය සඳහාද එම ජල මූලාශ්‍ර හා ජල ප්‍රවාහ ඵලදායීව යොදාගැනීමේ හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව හැමිල්ටන් ඇල, බේරේ වැව, දියවන්නා ඔය, මාදු ගඟ වැනි ජල මූලාශ්‍ර භාවිතා කරමින් අභ්‍යන්තර ජල ප්‍රවාහන සැපයීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අපේක්ෂා කරන අතර ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමටත්, එහි ප්‍රතිඵල මත පදනම්ව රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් ලෙස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.