අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ ලිපිය ලේකම් අවලංගු කරයි.. මොඩුයුල 10කට අඩු වෙයි, ස්වයං අධ්‍යනයටත් අවස්ථාව.!

ගුරුවරුන්ට උසස්වීම් ලබා දීමේදී ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රමවේද, තොරතුරු තාක්ෂණය, පාසල් කළමනාකරණය, පාඩම් සැලසුම් සකස් කිරීම, අධ්‍යාපන ක්‍රම ශිල්ප, ඉංග්‍රීසි භාෂාව ආදී වශයෙන් මාතෘකා කිහිපයක් යටතේ පැවරුම් සිදුකරනා මොඩියුල විස්සක් අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරිය (ගුරු අධ්‍යාපන පරිපාලන) නිකුත් කළ ලිපිය එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ඊයේ (දෙසැ. 25) අවලංගු කර තිබේ.

ඒ අනුව, අමාත්‍යාංශ ලේකම්වරයා සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යක්ෂවරු සහ ගුරු මධ්‍යස්ථාන කළමනාකරුවන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සම්බන්ධයෙන් විස්තරාත්මක උපදෙස් මාලාවක් නුදුරේදී නිකුත් කරන බව යි.

පසුගිය 17 වන දා අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු අධ්‍යාපන පරිපාලන) ඩබ්ලිව්.එස්.පී.එම්. දිසානායකගේ අත්සනින් යුතුව සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යක්ෂවරු සහ ගුරු මධ්‍යස්ථාන කළමනාකරුවන් ආමන්ත්‍රණය කරමින් ලිපියක් මගින් දැනුම් දී තිබුණේ ගුරු සේවා ව්‍යවස්ථානුකූලව ගුරු කාර්යක්ෂමතා කඩඉම් සඳහා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන මගින් ක්‍රියාත්මක පවත්වනු ලබන මොඩියුල වැඩසටහන යටතේ ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා (EB 1, EB 2, EB 3ට අදාළව) මොඩියුලර් 20ක් හැදෑරිය යුතු බව ත් ඒ සඳහා අදාළ ගුරුවරුන් ඔවුන් අයත් කලාපයේ ගුරු වෘත්තීය මධ්‍යස්ථානයේ ලියාපදිංචි විය යුතු බව ත් ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ගේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ගේ (ආයතන) නායකත්වයෙන් පසුගිය 13 වන දා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව එහි දක්වා තිබේ.

දැනට ක්‍රියාත්මක මොඩියුලර් වැඩසටහනට සහභාගී නොවූ ගුරුවරුන් තවදුරටත් පළාත්වල සිටින අතර 2025.06.30 දින දක්වා කාර්යක්ෂමතා කඩඉම් විභාගය හැදෑරීමට සිටින ගුරුවරුන් හඳුනාගෙන කඩිනමින් ගුරු වෘත්තීය මධ්‍යස්ථානවලට යොමුකරන ලෙසත් අධ්‍යක්ෂවරිය සඳහන් කර තිබිණි.

ගුරු කාර්යක්ෂමතා කඩඉම් සම්බන්ධයෙන් නිසි කලට ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල ලියාපදිංචි වීම අදාළ ගුරුවරුන්ගේ වගකීමක් බව එමඟින් අවධාරණය කර තිබූ දිසානායක මහත්මිය ලියාපදිංචි නොවීමෙන් ඇති වන ගැටලුකාරී තත්ත්ව මඟහරවා ගැනීමට ගුරුවරුන්ගේ සක්‍රිය සහභාගීත්වය වැදගත් කොට සලකන ලෙසත් මෙම කාර්යයට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසත් එහි දක්වා ඇත.

විභාගයන්ට පෙනී සිටීමට සිදුවන අතර මොඩියුලර් යනුවෙන් එය හඳුන්වනු ලබයි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මෙසේ කීය.

“මොඩියුලර් කරන විට ගුරු මධ්‍යස්ථානවලින් ගුරුවරුන් මත විශාල පීඩනයක් මුදාහැරියා. දින දානවා. ඒවට එන්න කියනවා. ආවේ නැත්නම් නැවත කරන්නෑ කියනවා. ඇතැම් ගුරු මධ්‍යස්ථානවල මොඩියුලර් කරන්න මුදලුත් එකතු කළා.

මේවා සියල්ල සැලකිල්ලට අපි අධ්‍යාපන අමාත්‍යාංශය අවුරුද්දක කාලයක් තිස්සේ දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මොඩියුලර් දහයකට අඩුකරන්නත්, ස්වයං අධ්‍යනයක් යටතේ එය සිදුකරන්නත් එකඟතාවකට ආවා. එවිට ගුරුවරුන් ගුරු මධ්‍යස්ථානවලට යන්න ඕන නැහැ. කාගෙවත් බලකිරීම්වලට යටත් වෙන්නත් ඕන නෑ. එවිට විභාගයක් පවත්වා යම් ඇගයීමක් කළ හැකියි. ඒකට ගුරු සංගම් එකඟ වුණා.

මෙම තීරණය තිබියදී අතිරේක ලේකම්වරියක් හදිස්සියේ ලේකම්ගෙන් විමසන් නැතිව ලියුමක් ගහලා තිබුණේ. ඇමැති දන්නෙත් නෑ. ලේකම් දන්නෙත් නෑ මේ ලියුම ගහපු විත්තිය. මෙම ලේකම්වරියගේ ලිපිය අනුව දෙකයි දෙක ශ්‍රේණියේ සිටින ගුරුවරුන් දෙකයි එකට උසස්වීමක් ලබා ගිය විට එම ශ්‍රේණියේ මොඩියුලර් සහ ඊට පෙර ශ්‍රේණියේ මොඩියුලර් කරන්න වෙනවා. ඒ නිසා අපි මේකට විරෝධය පළ කළා. එය අවලංගු කරන්න අධ්‍යාපන ලේකම්වරයා එකඟ වුණා. ඒ අනුව අතිරේක ලේකම්වරියගේ ලියුම අවලංගු කරලා තිබෙනවා. ඉදිරියේදී මොඩියුලර්වල් 10ට අදාළ ස්වං අධ්‍යනයක් අනුව පියවර ගැනීමට නියමිතයි.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.