Local news (Sinhala)

බැංකු සේවකයින් පස්වරු 12.30ට සේවයෙන් ඉවත්වෙයි.!

බැංකු සේවකයින් පස්වරු 12.30ට සේවයෙන් ඉවත්වෙයි.!

අද පස්වරු 12.30 න් පසුව ලංකා බැංකු ශාඛා පද්ධතිය වසා සියලු‍ ගනුදෙණුවලින් ඉවත් වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ. 

ඒ සිය දිරිදීමනා කප්පාදු කිරීමට විරෝධය පලකිරීමක් වශයෙනි.

එම සංගමයේ මධ්‍යම කාරක සභික නජිත් විජේරත්න කියා සිටියේ සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් නොලැබුණහොත් ලබන 06 වෙනිදා සංකේත වර්ජනයකට අවතීර්ණ වන බවයි.

මෙම ගැටලුව මුල් කරගෙන ඊයේ දිවයිනේ තෝරාගත් ප්‍රධාන නගර කිහිපයක ලංකා බැංකු ශාඛා 22ක් ඉදිරිපිට කෑම පැයේදී සේවකයන් විරෝධතාවල නිරත විය. 

එමෙන්ම, බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුලු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

සිවිල් ගුවන් සේවා වෘත්තිය සේවක සංගමය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවයෙන් ඉවත් වී තිබෙනවා. 

ශ්‍රී ලංකා දූත පිරිස වොෂින්ටන්හිදී සාකච්ඡා අරඹයි.!

ශ්‍රී ලංකා දූත පිරිස වොෂින්ටන්හිදී සාකච්ඡා අරඹයි.!

ඊයේ (28) වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී ශ්‍රී ලංකාව සඳහා අමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේ දෙවන වටය පැවැත්වුණි.

එම සාකච්ඡා සඳහා ශ්‍රී ලාංකික දූත පිරිස පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියහ.

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අදාළ නිලධාරීන් අතර පැවැත්වූ මාර්ගගත සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම පුද්ගල මට්ටමේ හමුවට අවශ්‍ය පසුබිම සකස් වූ අතර, ඉන් ආර්ථික සබඳතා සවිමත් කිරීම සඳහා දෙරටෙහිම කැපවීම පිළිබිඹු කෙරෙනු ඇති. 

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙයයි. 

වත්මන් ආර්ථික ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින්, වෙළෙඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා සොයා බැලීම හා ශ්‍රී ලංකාවට හිතකර ප්‍රතිඵල ලබා ගැනීම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවලින් අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.

ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කෙරේ.!

ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කෙරේ.!

ලබන (02) වැනිදා සිට (08) වැනිදා දක්වා ජාතික බදු සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

මෙමගින් රජයේ බදු ආදායම ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් නිශාන්ත ජයවීර සඳහන් කරයි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව මගින් එම සතිය තුළ ජනතාව දැනුවත් කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

දිවයින පුරා වැඩවර්ජනය අරඹයි.!

දිවයින පුරා වැඩවර්ජනය අරඹයි.!

ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් දිවයිනේ සියලු තැපැල් කාර්යාල වල සේවකයින් ඊයේ (28) දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළේය.

ඒ අනුව හෙට (30) දින මධ්‍යම රාත්‍රිය දක්වා වැඩවර්ජනය ක්‍රියාත්මක බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී. සී. නිරෝෂන සඳහන් කරයි.

නව කොවිඩ් වෛරසය හිස ඔසවයි.. දිවයින පුරා රෝහල්වල PCR පරීක්ෂණ.!

නව කොවිඩ් වෛරසය හිස ඔසවයි.. දිවයින පුරා රෝහල්වල PCR පරීක්ෂණ.!

මේ වනවිට ලෝකය පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව පවතින නව කොවිඩ් වෛරසය ව්‍යාප්තිය සම්බන්ධව අවධානය යොමුකරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය විශාල වශයෙන් යොමු කර තිබෙන බවත් නව කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ දිවයින පුරා රෝහල් තුළ සිදුකරන PCR පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ,

“අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුලු කොවීඩ් සම්බන්ධ කන්ඩායම් රැස්කරලා සාකච්චා පවත්වලා අපේ සෞඛ්‍ය පද්ධතිය තුළ මේ අවස්ථාවේ මොනවද කරන්න ඕන කියලා සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ අවස්ථාවේ ජනතාව බියවීමට අවශ්‍ය නැහැ.

හැබැයි ශ්‍රී ලංකාවට මේක එන්නේ නැහැ කියළා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ලංකාවේ කොවීඩ් රෝගීන් සංඛ්‍යාව ඉතාම අඩුයි. කොවීඩ් ලෝක වසංගතය අවසන් වීමෙන් පසුවත් මේ කොවිඩ් වසංගතය දිගටම තිබුණා.

පසුගිය වසර කිහිපයම ගත්තම මැයි ජූලි තමයි කොවීඩ් සංඛ්‍යාව ඉහළ යන්නේ. මේ අවස්ථාවේ ආසියාවේ තමයි කොවීඩ් වැඩිවිමක් තියෙන්නේ. සිංගප්පූරුවේ පැතිරීම නිසා වැඩි අවධානයක් යොමුවුණා. මේ අවස්තාවේ වැටකඩුලු බැදීම පමණක් නෙමෙයි.

අපි අභ්‍යන්තරව මේ සඳහා සූදානම් වීම කළ යුතුයි. ජාතික රෝහල් ඇතුලු ප්‍රධාන රෝහල් සහ PCR තිබෙන රෝහල්වල එම පරීක්ෂණ යම් ප්‍රමාණයකට වැඩි කිරිමට කටයුතු කරනවා. උණ පිළිබඳ ආවේක්ෂන පද්ධතියක් තිබෙනවා. ඒවා පිළිබඳවත් මේ දිනවල වැඩි අවධානය යොමු කර තිබෙනවා.

ඒ හරහා අපි කෝවිඩ් තත්ත්වය මොන මට්ටමක තියෙනවද කියලා විමසා බලනවා. නව කොවිඩ් වෛරසය තියෙනවද කියලත් විමසා බලනවා. නව ප්‍රභේදය ගත්තත් මරණ අනුපාතය අඩු මට්ටමක පවතිනවා.”

පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳ ගත යුතුයි.!

පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳ ගත යුතුයි.!

තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදු ජන හිත සුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 75 වසරක ජීවිතය සහ 64 වසරක පැවිදි දිවිය ඊට මහඟු ආදර්ශයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ (28) පස්වරුවේ හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ 75වන ජන්ම සංවත්සර “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” අමතමිනි.

අශිෂ්ටත්වයේ කෙළවර දක්වා ගමන් කරමින් තිබු රටක් හා සමාජයක් යළි ශිෂ්ටත්වය කරා ගෙන යාමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රජයක් ලෙස ඒ වෙනුවෙන් ඉටු කළ හැකි සෑම වගකීමක්ම නිසි ලෙස ඉටු කරන බවද අවධාරණය කළේය.

ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනැගීමේදී නව හර පද්ධතියක සහ වටිනාකම් පද්ධතියක අවශ්‍යතාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශිෂ්ටත්වය කරා යන එම ගමනේදී “පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳ ගත යුතු බව” තමන් ප්‍රකාශ කළේ එබැවින් බවද සිහිපත් කළේය.

රට තුළ අපේක්ෂා කරන ශිෂ්ටත්වයේ නව හැරවුම ගැනීම හුදු දේශපාලන ධාරාවේ වෙනස්කම්වලින් පමණක් සිදු කළ නොහැකි බවත්, වටිනා හර පද්ධතින් සහ වටිනාකම් මත ගොඩනැගෙන සමාජ බැඳීම්වල කාර්යභාරයක් ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම තමන් දරා සිටින ස්ථාවරයේ ශක්තිමත්ව එළැඹ සිටීමේ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ “උජුපටිපන්න” ගුණයද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උන්වහන්සේගේ 75 වසරක භික්ෂු ජීවිතය තුළ විද්‍යාමාන කළ වටිනාකම් සිය ජීවිතවලට උකහා ගැනීම උන්වහන්සේට සිදු කළ හැකි ඉහළම ගෞරවය බවද කියා සිටියේය.

පොලීසිය වැඩ අරඹයි.. ක්ෂණිකව ක්‍රියාත්මක වන විශේෂ බලඝනයක්.!

පොලීසිය වැඩ අරඹයි.. ක්ෂණිකව ක්‍රියාත්මක වන විශේෂ බලඝනයක්.!

අපරාධයක් සිදුකර පලායන සැකකරුවන් වහා අත්අඩංගුවට ගැනීමට මෙන්ම සාමය කඩවන ආකාරයේ සිදුවන යම් අපරාධයක් වැළැක්විය හැකි ක්ෂණික ළඟාවීමක්, අවි බලයක් සහිත විශේෂ පොලිස් කණ්ඩායම් ක්ෂේත්‍රයට මුදාහැරීම කාලෝචිත අවශ්‍යතාවයක් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ මූලිකත්වයෙන් විශේෂිත සංවිධානත්මක යතුරුපැදි බලඝනයක් රාජකාරි යෙදවීමට පියවර ගෙන ඇත.

මේ සඳහා තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් සහ මාතර පොලිස් කොට්ඨාසයෙන් එක්කල සංග්‍රාමික යතුරුපැදි 8 ක්, Highway යතුරුපැදි 15ක් ඇතුළත් අතර නිලධාරීන් 46ක පමණ ප්‍රමාණයක් අනුයුක්ත වේ.

ලංකාවේ ලොකුම ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට.. කෝටි 10ක දේපොළ තහනම් කරයි.!

ලංකාවේ ලොකුම ගංජා ජාවාරම්කරු අත්අඩංගුවට.. කෝටි 10ක දේපොළ තහනම් කරයි.!

ලංකාවේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ විසින් සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහට හෙවත් “බතල හීන්මහත්තයා” අයත් රුපියල් කෝටි 10ක පමණ වටිනා දේපොළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (28) දින තහනම් කළේය.

මෙම දේපළ ජේ.ඒ.ජයසිංහගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති අතර ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති අතර ඒ අනුව අදාළ දේපළ දින 7ක කාලයකට තහනම් කළේය.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (29) දින වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අජිත් පීට ලොකු පුටුවක්.!

අජිත් පීට ලොකු පුටුවක්.!

සජබ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පත්කර තිබේ.

ඊයේ (27) පාර්ලිමේන්තුවේ පැවති එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදු විය.

යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ  ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය තීරණය කර තිබුනි.    

ඒ අනුව සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා විසින් ස්ථිර කරනු ලැබීය.

සජබ ජ්‍යේෂ්ඨයින්ගෙන් කනිෂ්ඨයින්ට තගක්.!

සජබ ජ්‍යේෂ්ඨයින්ගෙන් කනිෂ්ඨයින්ට තගක්.!

කුමන ගැටලු පැවතියද පක්ෂයේ තීරණවලට එකඟ වියයුතු බවත් පක්ෂ තීරණවලට අනුව කටයුතු කිරීම පක්ෂයේ සියලු සාමාජිකයින්ගේ වගකීම බවත් සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨයින්ගේ මතය වී තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදී මතුවී ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බල⁣වේගයේ ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකු පසුගියදා එම ධුරවලින් ඉල්ලා අස්විය.

ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කර තිබේ.

සමගි ජන බලවේගයේ පක්ෂ අභ්‍යන්තර අර්බුද මීට මාස කිහිපයකට පෙර සිටම නිර්මාණය වූ අතර එම අර්බුදවල තවත් දිගුවක් ලෙස පළාත් පාලන නියෝජිතයින් පත් කරගැනීමේ ගැටලුකාරී තත්ත්වය දැකිය හැකි අතර ඒ අනුව මෙම සංවිධායකවරුන් සිය සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

මේ වනවිට පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයින් පත් කරගැනීමේ අර්බුදය උඩු දුවමින් පවතින අතර ඒ සම්බන්ධව තවත් ආසන සංවිධායකවරුන් රැසක් පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණ හේතුවෙන් දැඩි කළකිරීමට පත්වී ඇතැයිද වාර්තා වෙයි.