Out of the box (Sinhala)

ජපන් තානාපතිගෙන් ශ්‍රී ලංකාව ගැන නින්දා සහගත ප්‍රකාශයක්.!

ජපන් තානාපතිගෙන් ශ්‍රී ලංකාව ගැන නින්දා සහගත ප්‍රකාශයක්.!

ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, ජපානය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පැවති දූෂණ සංස්කෘතියේ ගොදුරක් බවට පත්ව සිටි බව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමොටා මහතා පැවසූ බවයි.

බලයට පත්ව සිටින නව රජය මේ දූෂණ සංස්කෘතිය රටින් තුරන් කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ. 

ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටි ජපන් සමාගම් රැසක් මෙම නරක අත්දැකීමට මුහුණ දී ඇති බව පවසන තානාපතිවරයා, ජපන් සමාගම්  කිසිසේත්ම අල්ලස් හෝ කප්පම් ලබා දීම සිදු  නොකරන බවද පවසා තිබේ. 

නව රජයේ කිසිදු දේශපාලනඥයෙක් කිසිදු ආකාරයක දූෂණයට සම්බන්ධ නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ. 

මේ පිළිබදව අදහස් දක්වමින් ජපාන තානාපතිවරයා පවසා ඇත්තේ දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිළධාරීන්ද දූෂණයේ යෙදීම වැළැක්වීම එක සේ වැදගත් බවයි. 

ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර ඇති බැවින් නව ජපන් රට තුළ ආරම්භ කිරීමට ජපානය සූදානම් දැයි තානාපතිවරයාගෙන් ඇසූ විට ඔහු ඊට පිළිතුරු දී ඇත්තේ, නව ව්‍යාපෘති ආරම්භ කිරීම ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව මත තීන්දු වන බවයි.  

හවුලේ කැඳ බොන්න දයාසිරිගෙන් ආරාධනා.!

හවුලේ කැඳ බොන්න දයාසිරිගෙන් ආරාධනා.!

අර්බුදයට ලක්ව ඇති පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමේදී සියලුම විපක්ෂ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.

විපක්ෂය බහුතරයක් සිටින ප්‍රාදේශීය සභාවල, නිල නොවන පක්ෂ ලෙස සභා පිහිටුවීමට සියලුම විපක්ෂ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක්විය යුතු බව ඔහු මාධ්‍ය හමුවේ පැවසීය.

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව නිල නොවන පක්ෂ සභාවක් ලෙස පිහිටුවීමෙන් රටට ආදර්ශයක් ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

ඔහු පවසන්නේ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ මාලිමාව වෙත ආසන 17ක් පමණක් ලැබී ඇති අතර විපක්ෂයට මුළු ආසන 21ක් හිමිව ඇති බැවින් සියලුම විපක්ෂ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමඟ මෙම සභාව පිහිටුවිය හැකි බවයි.

තම ධුර කාලය තුළ කිසිදු වංචාවක හෝ දූෂණයක නිරත නොවන බවට සියලුම සභාපතිවරුන් සහ සාමාජිකයින් ප්‍රතිඥාවක් දිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ගුවන්තොටුපොලේ ගොං වැඩකට මසකට මිලියන 3 බැගින් වසර 3 ක් ගෙවලා.!

ගුවන්තොටුපොලේ ගොං වැඩකට මසකට මිලියන 3 බැගින් වසර 3 ක් ගෙවලා.!

පසුගියදා පැවති කෝප් කමිටුවේදී අනාවරණය වූයේ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නවීකරණය ක්‍රියාවලියක් සම්බන්ධයෙන් ආනයනය කළ වහලක් එම ව්‍යාපෘතිය අත්හිටුවා තිබියදී ආනයනය කර මසකට රුපියල් මිලියන 3 බැගින් ගෙවමින් වසර 3ක් පුරාවට පෞද්ගලික ගබඩාවක තබා ඇති බවයි.

එම වහලය කටුනායක පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ දියනියට හිමි ග්ලෝබල් පාර්ක් ආයතනයේ ගබඩාවක මෙලෙස තැම්පත් කර ඇත.

කෙසේවෙතත් කෝප් කමිටු රැස්වීමට සහභාගී වූ රජයේ නිලධාරීන් සඳහන් කළේ එම ගබඩාව ලබාගැනීම නිවරදි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් ලබා දී ඇති බවයි.

මැයි 09 සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ගැන සාගර අදහස් දක්වයි.!

මැයි 09 සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ගැන සාගර අදහස් දක්වයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසූවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ඇතිකරපු දවස මැයි 09 දා බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (09 දා) ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා,

“2022 මැයි 09 කියන්නේ මෑත ඉතිහාසයේ ලංකාවේ තිබුණු අඳුරුම දිනය ලෙස කියන්න පුළුවන්. හුදු තමන්ගේ දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කරගැනීමේ පටු අරමුණින් ජනතාව නොමඟ යවලා මේ රටේ ආර්ථිකය කඩාවට්ටලා, කොවිඩ්වලට වහලා තිබුණු රටක්, ජනතාවගේ ජිවිත බේරගන්න උත්සහ කරපු නායකයෙක්ව පළවා හැරලා ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ඇතිකරපු දවස මැයි 09 දා. ඒ නිසා අපි අද මැයි 09දා මේ අරගලයේදී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන්ගේ ජිවිතය පූජා කරපු පාර්ලිමේන්තුවේ හිටපු අහිංසක මන්ත්‍රීවරයා ලෙස අමරකීර්ති අතුකෝරාල මැතිතුමා සිහිපත් කරනවා.

ඒ වගේම බේරේ වැවට දමලා වතුරේ ගිල්වලා තබලා ඊට දින කිහිපයකට පසුව මියගිය ඒ පාක්ෂිකයෝ සිහිපත් කරනවා. මහමඟ පහරදීලා දේශපාලන මතයක් දැරීම කියන කාරණය උඩ පහර කාපු ඒ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන් සිහිපත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75ක් සහ පළාත් පාලන මන්ත්‍රීවරු පන්සිය ගණනකගේ නිවාස ගිනිබත් කළ ඒ ම්ලේච්ඡ දිනයේදී ඉන් අගතියට පත්වෙච්ච කණ්ඩායම සිහිපත් කරනවා. තමන්ගේ පටු දේශපාලන අයිතින්, අරමුණු වෙනුවෙන් රටේ ජනතාවගේ හිත්වල වෛරය වපුරවලා මේ රටට විදේශ විනිමය එවන්න එපා කියලා ජනතාව පොළඹවලා, ඒ වගේම මේ රටට එන විදේශික සංචාරකයෝ නවත්වලා මේ රටේ ආර්ථිකය කඩාවට්ටපු ඒ අඳුරු දිනය සිහිපත් කරන දවස මැයි 09 දා. මේ අවස්ථාවේ මේ ආණ්ඩුවට සිහිපත් කරන්න කැමැතියි ඒ ඔබලාගේ බල පිපාසාව, බල තණ්හාව මත මේ රටේ ජනතාව වැරැදි මාර්ගයට යොමු කරලා, ජනතාවගේ හිතේ වෛරය පතුරවලා ජනතාව පාරට බස්සවලා ඒ කරපු මහා දැවැන්ත විනාශය මේ රටේ නැවතත් නොවෙන්න කටයුතු කරන්න.

ඒ වගේම අමරකීර්ති අතුකෝරල මැතිතුමාට සාධාරණය ඉටුකරන්න, එතුමා මහමඟ ම්ලේච්ඡ ලෙස මරා දමපු ඒ පිරිසව නීතිය ඉදිරියට පමුණුවන්න අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම තමන් දරපු දේශපාලන මතය විතරක් පදනම් කරගෙන ඔවුන් ජිවිත කාලයේ අමාරුවෙන්, මහන්සියෙන් හම්බු කරලා ගොඩනගපු ඔවුන්ගේ නිවාස ගිනිබත් කළා. ඒ නිවාසවලට වන්දි ගෙවපු එක කියව කියව සිටින්නේ නැතිව ඒ නිවාස වලට ගිනි තිබ්බේ කවුද කියන කාරණය ජනතාවට එළි කරලා ඔවුන්ගෙන් ඒ මුදල් අයකරගන්න කටයුතු කරන්න”

මහින්ද සේනාව රැස්කරයි.!

මහින්ද සේනාව රැස්කරයි.!

අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබුනි..

ඒ සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය සහභාගි වී තිබේ.

වකුගඩු සහනාධාරයට ලිංගික අල්ලස් ඉල්ලූ නිලධාරියෙක්ට එරෙහිව ඓතිහාසික නඩු තීන්දුවක්.!

වකුගඩු සහනාධාරයට ලිංගික අල්ලස් ඉල්ලූ නිලධාරියෙක්ට එරෙහිව ඓතිහාසික නඩු තීන්දුවක්.!

දිවිනැගුම සංවර්ධන නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (9) බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළේය.

ඒ සිය හත් හැවිරිදි සිය දරුවාගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබාගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා 30 හැවිරිදි තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමක් සම්බන්ධයෙන් සිදුකළ නඩු විභාගයකින් වැරදිකරු වීම මතයි.

කෙසේවෙතත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේ එම සිරදඬුවම වසර 10කින් ගෙවී යා යුතු බවයි.

ඊට අමතරව විත්තිකරුට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහිමිවන බවට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.

එමෙන්ම විත්තිකරුට රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරු රජයේ නිලධාරියෙකු වශයෙන් තම වගකීම ඉටුකිරීම සඳහා මේ ආකාරයෙන් අසරණ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය. 

මෙම වරදේ බරපතළභාවය සැලකිල්ලට ගැනීමේදී ලිහිල් දඬුවම් නියමකිරීමට හැකියාවක් නොමැති බවත්, ඒ අනුව මෙම දඬුවම නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කර ඇත.

2015 වසරේ මාර්තු මස 31 වනදා වකුගඩු ආබාධයෙන් පෙළන සිය හත් හැවිරිදි දරුවාට සැත්කමක් සිදු කිරීම සඳහා රජයෙන් ලබාදෙන සහනාධාරය ලබා ගැනීමට අවශ්‍ය  අනුමැතිය ලබාදීම සඳහා තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇයව තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගිය අවස්ථාවේදී විත්තිකරු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

ඉන් අනතුරුව මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුර තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ලකර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බව නියෝග කළේය.

ඒ අනුව මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

මහජනතාවගේ බරක් පවරාගන්න කෝටිපතියන්ට අවස්ථාව.!

මහජනතාවගේ බරක් පවරාගන්න කෝටිපතියන්ට අවස්ථාව.!

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇති බවයි.

මෙලෙස විකිණීමට නියමිතව ඇත්තේ 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත අධික ඉන්ධන පරිභෝජනයක් සහිත වාහන පෙළක් වෙයි.

ඒ අතර බී.එම්.ඩබ්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථයක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථයක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථයක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථයක්, වී 08 රථ 06ක් සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථයක් වේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට කටයුතු කර තිබුණි.

රජයේ වියදම් කපාහැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් අලෙවිකර ඇති බවද අදාළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ඊට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.

ජනපති අනුරට ඡන්දෙ දාන්න එන්න ප්‍රයිවට් ජෙට් එකක් ලෑස්ති කරලා.!

ජනපති අනුරට ඡන්දෙ දාන්න එන්න ප්‍රයිවට් ජෙට් එකක් ලෑස්ති කරලා.!

අද (8) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක බිමල් රත්නායක මහතා පවසා සිටියේ ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් වියට්නාමය වෙත ආරාධනා ලද ජනපති අනුර කුමාර දිසානායක මහතාට මැයි මස 6 වනදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නැවත මෙරටට පැමිණීමට පුද්ගලික ජෙට් යානයක් ලබාදුන්නේ වියට්නාම් රජය විසින් බවයි.

එම සාකච්ඡාවල මුල් අදියරේදී වියට්නාම තානාපතිවරිය සමඟ සාකච්ඡා කළේ තමා බවත් එහිදී ජනපතිවරයාට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණිය යුතු බවට තමා කළ දැනුම්දීම අනුව එම පහසුකම් සැලසීමට එරට රජය එකඟවූ බවත් සභානායකවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම වියට්නාමයෙන් ජනපති අනුර දිසානායක මහතා වෙත ලැබුනු රාජතාන්ත්‍රික පිළිගැනීම සම්බන්ධයෙන්ද කරුණු දැක්වූ බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියාසිටියේ වියට්නාම ජනපතිවරයා එම දින කිහිපය පුරාවටම ජනපති අනුර දිසානායක සමඟ රැඳී සිටිමින් ඉතා මිත්‍රශීලීව කටයුතු කළ බවයි.

කොළඹ පුරපතිනිය වීමට නියමිත බල්තසාර්ගේ පැරණි වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය කළඹයි.!

කොළඹ පුරපතිනිය වීමට නියමිත බල්තසාර්ගේ පැරණි වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය කළඹයි.!

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවට තරඟ වැද ජයග්‍රහණය කළ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය හිටපු නිරූපිකාවක් බව බොහෝ දෙනා නොදනී.

2012 වසරේ නිකුත් වූ ගායන ශිල්පී කසුන් කල්හාර විසින් ගායනා කරන “මත් මල් සේනා පාවේ පාවේ… දෑසේ දෑවටේ මා…” ගීතයේ නිල වීඩියෝ පටයේ නිරූපිකාවක ලෙස පෙනී සිටින්නේ එවකට සුරූපී නිරූපිකාවක් වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මියයි.

එම ගීතය පහතින්.

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි එදිනම මුදා හැරලා.!

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි එදිනම මුදා හැරලා.!

ගණේමුල්ල සංජීව නමැති පාතාලකරුගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අධිකරණයේදී චෝදනා ලබා සැඟවී සිටින ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව පසුගිය මැයි 06 දින කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, පරීක්ෂණවලදී ඇත්තේ ඇය ගනේමුල්ල සංජීව ඝාතන සිදිධියට චෝදනා ලත් ඉෂාරා සෙව්වන්දි නොවන බවයි.

ඒ බව තහවුරු වීමෙන් පසු ඇය නිදහස් කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ කුලියාපිටිය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි.

වයස අවුරුදු 32ක් වන ඉෂාරා නමැති කාන්තාව ඉඩමක් සම්බන්ධයෙන් පත්ඉරු ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී, කාර්යාලයේ නිලධාරීන් ඇයගේ නම ඉෂාරා සෙව්වන්දි ලෙස සටහන්ව තිබීම හේතුවෙන් සැකයට භාජනය වී ඇත.

නිලධාරීන් ඇයගේ හැඳුනුම්පත ද පරීක්ෂා කර ඇති අතර, ඇය කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ වීම හේතුවෙන් නිලධාරීන්ගේ සැකය තවත් වැඩිවී තිබේ.

ඉන් අනතුරුව නිලධාරීන් පොලිසියට දැනුම් දී ඇති අතර, පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඇය අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර ඇත.

කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය ඇතුළු ආයතන ගණනාවකට තොරතුරු යවා ඇති අතර, ඡායාරූප විවිධ තාක්ෂණික මෘදුකාංග ඔස්සේ විශ්ලේෂණය කිරීමෙන් පසු මෙම ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව, ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ චෝදනා ලත් ඉෂාරා සෙව්වන්දි නොවන බව තහවුරු කරගෙන ඇත.

ඉන්පසු පොලිසිය ඇයගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇය නිදහස් කර ඇත.
විමර්ශනයට භාජනය වූ ඉෂාරා සෙව්වන්දි මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ, තමාගේ නම සහ පෙනුම අපරාධකාරියකගේ නමට සමාන වීම නිසා පොලිසියට කැඳවා විමර්ශනයක් සිදු කළ බවයි.