කොළඹ මහ නගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවීම ආරම්භ කර ඇත.
පසුගිය 2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම, නිශ්චල හෝ චංචල දේපොළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍රමිකතා, නිසි කාර්ය පරිපාටියෙන් බැහැරව සිදු කර ඇති නඩු කටයුතු සහ සමථ කිරීම්, ඉහත ක්‍රියා හේතුවෙන් රජයේ වත්කම් වලට හෝ ආදායමට සිදු වූ බරපතළ අලාභ සහ හානි පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ආරම්භ කළේය.
සංශෝධිත 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ (393 අධිකාරිය වන) 02 වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 දෙසැම්බර් (30) වෙනි දින අංක 2469/08 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පත් කරන ලද මෙම පරික්ෂණ කොමිෂන් සභාව කොළඹ 03, ගාලු පාර, අංක 152 ස්ථානයේ ස්ථාපිත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ පියසේන රණසිංහගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ (1 ශ්‍රේණිය) ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ කටයුතු කරයි.

