මාරාන්තික ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයට සිදුව ඇත්තේ කුමක්ද.. අනාගතයේ කුමක් වේවිද.?

ජීවිත ලක්ෂ ගණනක් බිලිගත් කොවිඩ් වසංගතය එන්නත්කරණය හරහා පාලනයකට නතු වීම තුලින් කොරෝනාවෛරස් වසංගතය සම්බන්ධයෙන් ලෝකයේ පැවති බිය පහවී ගියේය.

නමුත්, තම කොවිඩ් එන්නත මගින් “රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ (TTS) ඇති විය හැකි” බවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කළ සමාගම, බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේ පිළිගැනීමත් සමඟ තවත් භීතියක් ලොව පුරා පැතිර යමින් පවතී.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට සමාගමට එරෙහිව නඩු කිහිපයක් පැවරීමෙන් අනතුරුව බිලියන තුනකට අධික මාත්‍රා ගණනක් ලබා ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත “වාණිජමය හේතු මත යාවත්කාලීන කරන ලද නව එන්නතක් හදුන්වා දීමේ අරමුණින්” යැයි පවසා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කළේය.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව මෙම එන්නත නිපදවන ලද අතර එම එන්නත ඉන්දියාවේ මහා පරිමාණ එන්නත් නිෂ්පාදන ආයතනයක් වන සීරම් ආයතනය හරහා කොවිෂීල්ඩ් නමින් නිපදවීමට අවසර ලබාදුන්නේය.

ශ්‍රී ලංකාව තුල වසංගතය උච්චතම අවස්ථාවට පැමිණ තිබූ පසුබිමක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කළ අතර එම මුල් එන්නත් තොගය වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ රෝහල් සේවකයින්ට ලබා දීමට මෙරට රජය තීරණය කළේය.

ඒ අනුව, මෙරට එන්නත්කරණ වැඩසටහන 2021 වසරේ ජනවාරි 29 වන දින ආරම්භ කළේ බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6ක සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබා දෙමිනි.

ඉන්පසුව අඛණ්ඩව එන්නත් මාත්‍රා මිලියන ගණනක් මෙරට ජනතාව වෙනුවෙන් මිල දී ගැනිණි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසූවේ එන්නත ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුට මුල් කාලයේදී ම අතුරු ආබාධ ඇති වූ බවට වාර්තා වූ නමුත් අදාළ එන්නත නිකුත් කිරීමට පෙර එහි සමාගම විසින් පුද්ගලයින් 40,000ක් යොදාගනිමින් සිදුකළ පරීක්ෂණයේදී, ලක්ෂයකට දශම ගණනක් වැනි අඩු මට්ටමේ අතුරු ආබාධ වාර්තා වී ඇති බවත් හදිසි අතුරු ආබාධ බියක් මතුවූයේ එම සමාගමට එරෙහිව නඩු පැවරීම හේතුවෙන් බවත්‍ ය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියාසිටියේ ශ්‍රී ලංකාවේ ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පවසන්නේ කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයින් බියට හෝ කලබලයට පත් විය යුතු නැති බවත් එවැනි අතුරු ආබාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ බරපතළ තත්ත්වයක් මතු වී නොමැති බවත්ය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.