ඉරානයේ කාර්ග් දූපතට ප්‍රහාරයක් එල්ල කළ බවත් දැනට ඉතුරු වෙලා තියෙන්නෙ නල පද්ධතිය විතරක් බවත් එම නල පද්ධතියත් විනාඩි පහක කාලයකින් විනාශ කරන්න පුළුවන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ගුවන් යානයේ සිට සිදුකළ ප්‍රකාශය,
“අපිට අද හොද ප‍්‍රතිඵල තියෙනවා. ඉරානයට එරෙහිව යුදමය වශයෙන් හොද ප්‍රතිඵල අපි අත්කරගෙන තියෙනවා. මේ වනවිට අපි විවිධ රටවල් සමග සාකච්ඡා කරමින් ඉන්නවා හෝමූස් සමුද්‍ර සන්ධියේ පරිපාලනය ගැන.
අපිට එහෙන් තෙල් එන්නේ 1%ක්, 2%ක් විතර ප්‍රමාණයක්. නමුත් චීනයට 90%ක්ම තෙල් එන්නේ මේ කලාපයෙන්. අපි හිතන්නේ මෙතන පරිපාලනයට අපේ මැදිහත්විම වැදගත් කියල. යුදමය වශයෙන් අපි ඒ රටවල් එක්ක වැඩ කරන්න ලැස්තියි.
දැනටමත් අපි ඉරානය පරාජය කරලා තියෙන්නෙ. ඔවුන් සුළු වශයෙන් අපිට එරෙහිව සටන් කරනවා. නමුත් ඔවුන්ට කරන්න ලොකු දෙයක් නැහැ. අපි ඔවුන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධති, ගුවන් හමුදාව වගේම නාවික හමුදා සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙන්නෙ.
ඒ වගේම දෙතුන් වතාවක් ඔවුන්ගේ නායකත්වයත් සම්පූර්ණයෙන් විනාශ කලා. අපි දැනටමත් කාර්ග් දූපතට ප්‍රහාරයක් එල්ල කරල තියෙනවා. දැනට ඉතුරු වෙලා තියෙන්නෙ නල පද්ධතිය විතරයි. විනාඩි පහක කාලයකින් අපිට ඒකත් විනාශ කරන්න පුළුවන්.
නමුත් මම ඒක කරන්නේ නැහැ. ඔවුන් මගෙන් බැගෑපත් වෙනවා සටන් විරාමයක සාකච්ඡා කරන්න කියල. මගේ අදහස් නම් ඒ මට්ටමට තාම ඇවිල්ලා නැහැ. දැනටමත් අපි අනෙක් රටවල් එක්ක සාකච්ඡා කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පරිපාලනය ගැන.
අපිට ගොඩක් යහපත් ප්‍රතිචාර ලැබිල තියෙනවා. යහපත් ප්‍රතිචාර ලැබෙන එක නොදයි. ලැබුනේ නැතත් කමක් නැහැ. මතක තියාගන්න මේ රටවල් සේරම නේටෝ සාමාජිකයින්, අපි හැම වෙලාවේම නේටෝව සමග හිටගන්නවා.
අපි යුක්රේන යුද්ධයේදී ඔවුන්ට උදව් කරනවා. ඒ යුද්ධයෙන් අපිට බලපෑමක් නැති වුනත් අපි උදව් කරනවා. මේ අවස්ථාවේදී අපි බලාගෙන ඉන්නවා කවුද අපිට උදව් කරන්න එන්නේ නැත්තේ කියල, අපිට අවශ්‍ය වෙන්නේ හෝමූස් විවෘත කරන එක. මේ වෙලාවේ ඉරානයෙන් එල්ල වෙන බලපෑම ඉතාම අඩුයි.”
