By unusuma.lk on
(LK time)සිය අධ්‍යාපණ සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවූ සමජා කතිකාවතෙන් පසුව, හිටපු කථානායක අශෝක රංවල මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටියේය. එය එක්තරා ආකාරයකින් සජබය ලැබූ ජයග්‍රහණයක් විය. නමුත් විශ්වාසභංග යෝජනාව විවාදයට ගනිද්දී නියත වශයෙන්ම ආණ්ඩුව පැත්තෙන් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කරමින් ප්‍රහාර එල්ල කරනු ඇති බවත්, කල්තියාම ඊට මුහුණ දීමටත් සජිත් සැලසුම් සකස් කර තිබුණි.
නමුත් අශෝකගේ ඉල්ලා අස්වීමත් සමග විශ්වාසභංගය අත්හැරීමට සිදුවීම නිසා බොහෝ දෙනා සජිත්ට කතාකොට කියා සිටියේ ආණ්ඩුවේ මඩවලට පිළිතුරු දීම සඳහා සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමට මේ හොඳම අවස්ථාව යැයි කියාය. විශේෂයෙන්ම 2019 ජනාධිපතිවරණ සමයේ සිටම සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇදගනිමින් ඇතැම්හු සජිත් සාමාන්‍ය පෙළ අසමත් බව කීහ. සජිත්ට උසස් පෙළ නැති බව කීහ. උපාධියක් නැති බව කීහ. පසුගිය දිනෙකදී එක්තරා ප්‍රසිද්ධ ආචාර්යවරයෙක් සජිත්ට සාමාන්‍ය පෙළට ඇත්තේ උ නවයක් බව කියමින් එක්තරා ව්‍යාජ සහතිකයක්ද රටට පෙන්වීමට කටයුතු කළේය.
ඒ අනුව සජිත් මුලින් සැලසුම් කර තිබුණේ මෙවර පාර්ලිමේන්තුව 17-18 දෙදින රැස්වීමෙන් පසු යළිත් රැස්වන්නේ ජනවාරි මාසයේ නිසා නව වසරේ අලුත් පාර්ලිමේන්තු රැස්වීමේදී සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය. ඒ අනුව සජිත් පසුගිය දින කීපය පුරාම සිය නිවෙසට ගොස් ඒ සඳහා අවශ්‍ය සියලු සහතික එකතු කරගැනීමට පියවර ගත්තේය. එහිදී සජිත් නිවසේ ආරක්ෂිතව තබා තිබූ ලිපිගොනු එකින් එක පෙරළද්දී ඔහුට පෙරපාසලේදී පවා තමන් ලබාගත් සහතික සුරක්ෂිතව තිබෙන ආකාරය දැකගත හැකි විය.
මේ ආකාරයට සිය අධ්‍යාපන සහතික සහිත ලිපිගොනු එකින් එක පෙරළාගෙන යද්දී සජිත් එක්වරම ගල් ගැසෙන සිදුවීමක් සිදුවිය. ඒ, සිය සහතික අතර තිබූ අත් අකුරින් ලියන ලද ලිපි කිහිපයක් හමුවීමත් සමගය. ඒ ලිපි ලියා තිබුණේ වෙන කවුරුවත් නොව සජිත්ගේ පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. ඒ ලිපි එකින් එක පෙරළාගෙන යද්දී තමන් 1981 කාලයේදී එංගලන්තයේ ඉගෙනුම ලබද්දී සිය පියා විසින් එවනු ලැබ තිබූ ලිපි සහ තමන් පෙරළා පියාට ලියා තිබූ ලිපි සියල්ල ආරක්ෂිතව එහි තිබූ බවක් සජිත්ට දැකගත හැකි විය.
ඒ අනුව එහි තිබූ එක්තරා දීර්ඝ ලිපියක් අතට ගත් සජිත් එක හුස්මට එය කියවාගෙන යන්නට විය. එහි ප්‍රේමදාස සජිත් ආමන්ත්‍රණය කර තිබුණේ ‘පුතා’ යනුවෙනි. ආරම්භයේ සිට ලියුම කියවාගෙන යද්දී සජිත් අවස්ථා කිහිපයකදීම ඉතා හැඟුම්බර වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ලිපිය ආරම්භයේදීම ප්‍රේමදාස සඳහන් කොට තිබුණේ තමන් එම ලිපිය සුචරිතයේ සිට ලියන බවකි. හොඳට ඉගෙනගන්නා ලෙස සජිත්ට උපදෙස් දෙමින් ලියා තිබූ එම ලිපියෙහි සජිත් ලබාගත් ජයග්‍රහණ පිළිබඳ තාත්තා කෙනකු වශයෙන් තමන් ඉතා සතුටට පත්වන බවත්, ඉගෙනීමට අමතරව අනෙකුත් බාහිර ක්‍රියාකාරකම්ද ඉතා හොඳින් කරන ලෙසත් ප්‍රේමදාස එහි සඳහන් කොට තිබිණි විශේෂයෙන්ම ක්‍රීඩා අංශයෙන් ඇති තරම් ඉහළට යන ලෙසද ප්‍රේමදාස එහිදී සජිත්ට උපදෙස් දී තිබිණි. කිසිදු අවස්ථාවක ආපස්සට නොයන ලෙසත්, ඊළඟ වතාවේ නිවාඩුවට සජිත් ලංකාවට පැමිණි විට මව, නැගණිය සමග එක්ව යාල වනෝද්‍යානයේ සංචාරය කිරීමට තමන් සැලසුම් කර ඇති බවත් ප්‍රේමදාස එම ලිපියේ සඳහන් කොට තිබිණි. ඊට අමතරව නිවාඩුවට පැමිණි විට සංගීතය ඉගෙනීම සඳහා තමන් දැනටමත් සංගීත ගුරුවරයකු සමග කතාකොට ඇති බවද ප්‍රේමදාස එම ලිපියේ සඳහන් කොට තිබිණි.
මීට අමතරව සජිත් එවා තිබූ ලිපියක ඇති වැරැදි යෙදුම් පිළිබඳවද ප්‍රේමදාස එහි සඳහන් කොට තිබිණි. සජිත් ඉංග්‍රීසි භාෂාවෙන් එවා තිබූ ලිපියේ ‘ස්විමිං‘ යන වචනයෙහි අකුරු වැරැදි බවත්, සිංහලෙන් ලියා තිබූ ලිපියෙහි ‘නිවාඩු‘ යන වචනය වැරැදි ලෙස ලියා තිබූ බවත් ප්‍රේමදාස සඳහන් කොට තිබිණි. ඉංග්‍රීසි භාෂාව මෙන්ම මවු භාෂාව වන සිංහලද චතුර ලෙස ලිවීමට සහ කියවීමට ඉගෙනගන්නා ලෙස උපදෙස් දී තිබූ ප්‍රේමදාස, දුරු රටක සජිත් සිටීම පිළිබඳ දුක් වන ආකාරය සහ සජිත්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා විදෙස්ගත කරවූ බවත් එහි සඳහන් කොට තිබිණි.
මේ ආකාරයට සිය පියාගේ ලිපිය එක හුස්මට කියවාගෙන යද්දී අධ්‍යාපන සහතික සොය සොයා සිටි සජිත්ගේ දෑස් කඳුළින් තෙත් වන ආකාරයක් දැකගත හැකිවිය. ඒ වනවිට එහි සජිත්ගේ බිරිය වූ ජලනිද සිටි නිසා සජිත්ගේ මෙම වෙනස දුටු ඇයද දැඩි විමතියටත්, කලබලයටත් පත්වූ ආකාරයක් පෙනෙන්නට තිබිණි. ඒ අනුව වහාම සජිත්ව සන්සුන් කිරීමට කටයුතු කළ ජලනි, ලිපි සියල්ල පසෙක තබා සජිත්ගේ අධ්‍යාපන සහතික සෙවීමේ කටයුත්ත කෙරෙහි ඔහුගේ සිත යෙදවීමට කටයුතු කළාය.
News source – රාජ්‍ය රහස් (Mawrata)