By unusuma.lk on
(LK time)ලංකා විදුලිබල මණ්ඩලය (13) පස්වරුවේ යළිත් නිවේදනයක් නිකුත් කරමින් සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව අප්‍රේල් මස (21) වනදා දක්වා සෑම දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ස්වේච්ඡාවෙන් තම වහල මත සවිකර ඇති සූර්යබල පද්ධතිය තාවකාලිකව නවතා දමන ලෙස සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
අවුරුදු නිවාඩු කාලය තුළ පාරිභෝගික ඉල්ලුම අවම මට්ටමක පවතින අවස්ථාවක අව්ව සහිත තත්වයන් තුළ වහල උඩ සූර්ය බලශක්තියේ ඉහළ නිෂ්පාදනයක් ඇතිකරන බවත් එමගින් ජාලක ස්ථායිතාව බරපතළ අවදානමකට ලක්වන බව එම මණ්ඩලය සදහන් කරයි.
බොහෝ කර්මාන්තශාලා සහ කාර්යාල මේ දිනවල වසාදමා ඇති අතර ඒ හේතුවෙන් විදුලිය භාවිතය ඉතා අඩු බවත් එනිසා දිවා කාලයේදී අධික සූර්ය බලශක්තියක් ජාලයට ගලාඑන බව එම මණ්ඩලය සදහන් කරයි.
එම තත්ත්වය සමතුලිත කිරීම සඳහා විදුලිබල මණ්ඩලය ජලවිදුලි බලාගාර, ගල් අඟුරු සහ අනෙකුත් සියලුම තාප බලාගාර වැනි විශාල බලාගාර වසා දමන බවත් පාරිභෝගිකයින් සිය සූර්ය පැනල වසා නොදමන්නේ නම්, විදුලිබල මණ්ඩලයට වහල මත සූර්ය පද්ධතිවලින් නිෂ්පාදනයවන විදුලිය පාලනය කළ නොහැකි බවද සදහන් කරයි.
එය ජාතික පද්ධතියට ඔරොත්තුදීමට නොහැකි වුවහොත් කුඩා දෝෂයකින් පවා වෝල්ටීයතාව හෝ සංඛ්‍යාත ගැටළු ඇතිකළ හැකි බවද එම මණ්ඩලය තවදුරටත් සදහන් කරයි.