එප්පාවල සංඝ ඝාතකයා ඇල්ලූ මෙහෙයුම.!

එප්පාවල රුක් සෙවණ අසපුවේ වැඩ විසූ හිමි නම ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 25 වැනිදා පස්වරුවේ වෙනත් විහාරස්ථානයක හිමිනමක් හදිසි අවශ්‍යතාවක් සඳහා අසපුව වෙත වැඩම කර තිබූ අතර එම අසපුවේ වැඩසිටි 69 හැවිරිදි අසපුවේ විහාරාධිපති හිමියන් සංඝාවාසය අසල මියගොස් සිටිනු උන්වහන්සේ දැක ඇත්තේ ඒ අවස්ථාවේදීය.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් ගම්වැසියන් දැනුවත් කර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හා එප්පාවල පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණේය.

ඝාතනයට ලක්ව තිබුණේ විලච්චියේ ප්‍රේමරතන නම් වූ 69 හැවිරිදි හිමිනමකි. උන්වහන්සේගේ උපන් ගම විලච්චිය වුවද මීට වසර දහයකට පමණ පෙර මෙම හිමිනම මෙම ප්‍රදේශයට වැඩමකොට මෙම රුක් සෙවණ අසපුව” ස්ථාපිත කර තිබූ අතර එම අසපුවේ වැඩවාසය කර සිට ඇත්තේ උන්වහන්සේ පමණකි.

මෙම අසපුව ඉදිකිරීම සඳහා කොළඹ ප්‍රදේශයේ දානපතියන් සම්බන්ධ කරගෙන ඇතත් උන්වහන්සේ විහාරස්ථානය අවට කිසිදු පිටස්තරයකු සමග ඇයි හොඳයිකමක් පවත්වාගෙන ගොස් නැත. මේ නිසා මෙම අසපුවට දානයද ගමේ පිරිසගෙන් ලැබී නැත. ගම්වාසීන් කිහිපදෙනකු ඇරෙන්නට වැඩිදෙනෙක් මේ අසපුවට ගොස් නැත. ඒ නිසා දානය පිළියෙල කර ගැනීම සිදුකර ගන්නේද උන්වහන්සේ විසින්මය.

ඝාතනය සම්බන්ධයෙන් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කළ පොලිස් නිලධාරීන් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාගේ පැමිණීමෙන් පසු හිමිනමගේ දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළේය.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ හිසට එල්ල කළ තදබල පහරක් නිසා උන්වහන්සේ අපවත් වී ඇති බවය. එමෙන්ම උන්වහන්සේගේ ගෙල ප්‍රදේශයේද කිසියම් කැපුම් තුවාලයක් දක්නට ලැබිණි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් උන්වහන්සේගේ මරණය ඝාතනයක් බවට තහවුරු වීමත් සමඟ උන්වහන්සේගේ ඝාතකයා සොයා පොලිස් කණ්ඩායම විමර්ශන ඇරැඹීය.

ඒත් ඝාතකයා සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් පොලිසියට හමුවූයේ නැත. අසපුව අවට පදිංචිකරුවන්ද උන්වහන්සේ සමඟ හෝ අසපුව සමඟ සබඳතාවක් පවත්වා නැති නිසා අසපුවට ආගිය අය හෝ රැඳී සිටි අයවලුන් ගැනද කිසිදු තොරතුරක් පොලිසිය සතු නොවීය.

මෙලෙස දිගින් දිගටම විමර්ශන සිදු කරද්දී එප්පාවල පොලිසියට අපවත් වූ උන්වහන්සේ ගැන තවත් තොරතුරු ලැබුණේය. ඉන් එක් තොරතුරකින් කියැවුණේ උන්වහන්සේ නිතරම උඩමළුව වෙත වඩින බවකි.

මේ අතර උන්වහන්සේ සතුව ත්‍රිරෝද රථය අසපුවේ නොවීම සම්බන්ධයෙන් විමර්ශණ නිලධාරීන්ට සැක මතුවිය. උන්වහන්සේට අයත් ත්‍රිරෝද රිය සොයා විමර්ශන ආරම්භ කළේ ඉන් පසුවය.

සිද්ධියෙන් දවසකට පසු එම රථය එප්පාවල නගරයේ අතහැර දමා ගොස් තිබී සොයා ගැනිණි. වැඩි කාලයක් යන්නට මත්තෙන් විමර්ශන නිලධාරීන්ට තවත් තොරතුරක් ලැබුණේය. ඒ එම ත්‍රිරෝද රිය අලුත්වැඩියාව සඳහා එප්පාවල ප්‍රදේශයේ ගරාජයකට දමා තිබූ බවය. ඒ ත්‍රිරෝද රිය ගරාජයෙන් රැගෙන ගිය පුද්ගලයා කවුරුන්දැයි යන්න දැන ගැනීමට නොහැකිවූ නිසා නිලධාරීන්ගේ එම උත්සාහයද අපතේ ගියේය.

එහෙත් උත්සාහය අත්නොහළ නිලධාරීන් යළි අසපුවටම ගොස් එම අසපුව පිරීක්සමින් තවත් කරුණු කාරණා සොයන්නට වූහ.

පසුව විමර්ශණ නිලධාරීන් අපවත් වූ හිමිනමගේ ජංගම දුරකථනයේ අංකය සොයාගෙන අධිකරණ නියෝග මත ඊට අදාළ දුරකථන විශ්ලේෂණ වාර්තාවක්ද ලබාගෙන දුරකථන කුලුනු හරහා එම දුරකථනය ඇත්තේ කොහේදැයි නව තාක්ෂණ ක්‍රම ඔස්සේ සොයා බැලීය.

එම දුරකථන විශ්ලේෂණ වාර්තාව හොඳින් නිරීක්ෂණය කළ නිලධාරීන් එම දුරකථනයට ආගිය ඇමතුම් සම්බන්ධයෙන් නිරීක්ෂණයක් කළේය. ‘

එහිදී එම දුරකථනයෙන් ලබාගත් ඇමතුමක නොම්මරයක් සොයාගැනීමට විමර්ශකයන් සමත් වූහ.

පසුව නිලධාර්න් ඔහු පදිංචිව සිටින ස්ථානය විමසා වහා මීගමුව ප්‍රදේශයට ගොස් ඔහු හමුවිය. එහිදී සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී සැකකරු මෙසේ පවසා තිබුනි.

“මට ඒ හාමුදුරුවෝ හම්බ වුණේ රුවන්වැලිසෑය ළඟදී සර්”

“තමන්ගේ ගම කොහේද?” නිලධාරියෙක් විමසීය. “මතුරට”

“මතුරට ඉඳන් මෙහාට ආවේ මොකටද?”

“රස්සාවක් සොයාගෙන”

“එහෙම එනකොට ඔය හාමුදුරුවෝ රුවන්වැලිසෑය ළඟ සාස්තර කිය කියා හිටියා. මාත් එතැනට ගියා. හාමුදුරුවෝ මගෙන් විස්තර ඇහැව්වා. මම කිව්වා මට කාත් කවුරුත් නැහැ. රස්සාවක් සොයාගෙන ආවේ කියලා. හාමුදුරුවෝ ඇහැව්වා මොනවද කරන්න දන්නේ කියලා. මම කිව්වා වාහන එළවන්න පුළුවන්. ඒත් මගේ ලයිසන් එක නැතිවෙලා තියෙන්නේ කියලා, ඒ පාර තමයි හාමුදුරුවෝ කිව්වේ මමත් අසපුවක තනියම ඉන්නේ. එහෙ ත්‍රීවීලර් එකක් තියෙනවා. ඒක එළවන්න පුළුවන්ද කියලා. මම කැමැති වුණා. කැමැති වෙලා අසපුවට ගියා. ත්‍රීවීලර් එක ගරාජ් එකක තිබුණේ. හාමුදුරුවෝ මට ඒක අරන් දුන්නා. මම දවස් දෙකතුනක් ත්‍රීවීලර් එකෙන් හාමුදුරුවන්ගේ වැඩ කරලා දුන්නා.”

සැකකරු පැවසීය.

“ඇයි තමුසෙ එහෙම නම් හාමුදුරුවන්ව මැරුවේ”

“මට හාමුදුරුවෝ බැන්නා. ‘කරදර’ කළා. ඒ පාර තමයි මම පොල්ලක් අරන් හාමුදුරුවන්ගේ ඔළුවට ගැහැව්වේ.” සැකකරු නිලධාරීන් ඉදිරියේ කියන්නට විය. ඔහු අසපුව වෙත රැගෙන ගිය නිලධාරීන් හිමිනමට පහරදුන් මුගුර සහ වක් පිහියක්ද ඝාතනය සිදුවූ ස්ථානයට නුදුරින් තිබී සොයා ගත්තේය.

වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ සැකකරු හිමිනම ඝාතනය කිරීමෙන් අනතුරුව අසපුවේ හිමිනම සන්තකයේ තිබී රුපියල් 13,000ක මුදලක්ද සොරාගෙන ගොස් ඇති බව අනාවරණය විය.

එමෙන්ම විහාරාධිපති හිමියන්ගේ හැඳුනුම්පත ඇතුළු වටිනා ලිපිලේඛන කිහිපයක්ද සැකකරු රැගෙන ගොස් තිබූ අතර එම ලේඛන සහ හැඳුනුම්පත අසපුවට කිලෝමීටර් දෙකක් පමණ දුරින් තලාව-එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල කානුවකට දමා තිබියදී සොයාගනු ලැබීය.

26 හැවිරිදි සැකකරු තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments