By unusuma.lk on
(LK time)මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අහ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ රාජපක්ෂ පාලනය ඇතුළු හිටපු පාලන සමයන්හි සිදු වූ මහා පරිමාණ අපරාධ විමර්ශනය කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය යළි පිහිටුවීමට තීරණය කර ඇති බවයි.
වෙනම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත්වරයෙකුගේ නායකත්වයෙන් මෙම කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධව පිහිටුවීමට නියමිත බවද පැවසේ.
2015 යහපාලන ආණ්ඩු සමයේ දී පිහිටවා පසුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් විසිරුවා හැරි මෙම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ ඇතුළු ප්‍රබල රාජපක්ෂවරු සහ ඔවුන්ගේ හිතවාහීන් ගණනාවක් පිළිබඳ විමර්ශන සිදු කරනු ලැබීය.
මෙම කොට්ඨාශය යළි පිහිටුවීම හරහා නිශ්ශංක සේනාධිපති, උදයංග වීරතුංග ඇතුළු ප්රබලයන්ගේ මැදිහත්වීමෙන් ජාත්‍යන්තර අපරාධ ජාලවලට මෙරට පාලක කණ්ඩායම් සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳ මෙන්ම, විදේශ රටවල ගොඩගසා ඇති ධනය පිළිබඳ විමර්ශනය කිරීම, එයාබස් ගනුදෙනුව ඇතුළු බරපතල ගණයේ මූල්‍ය වංචා පිළිබඳව සොයාබැලීමද අපේක්ෂාකෙරෙන බව සඳහන්.
මූල්‍ය විමර්ශන සඳහා හැකියාව ඇති, පුහුණුව ලත් නිලධාරීන් පිරිසක් මෙන්ම එයට අදාල තාක්ෂණික උපාංග සහ භාවිතයන් එම කොට්ඨාශය තුළ අත්හදා බැලීමේ හැකියාව පවතින අතර දැනට පවතින, විගණකාධිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොට්ඨාශය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනාදී විමර්ශන සහ විගණන කටයුතු සිදුකරන ආයතනවලට වඩා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දූෂණය මැඬලීම සඳහා වෙනස් දායකත්වයක් එකතු කෙරෙනු ඇති.
මෙම ආයතනය හිටපු ආණ්ඩු විසින් කරන ලද දූෂණ වංචා පමණක් නොව, වත්මන් ආණ්ඩුව විසින් සිදුකරන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමටත් යොදාගත හැකි අතර මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති පැමිණිලි විභාග කිරීම සඳහාද පිටුවහලක් වනු ඇත.