By unusuma.lk on
(LK time)කලක සිට ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකුගේ පුතෙකුට අයත් ව්‍යාජ අංක තහඩුවක් සවි කළ මිට්ශුබිෂි මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය භාරයට ගෙන ඇත.
දිගන ප්‍රදේශයේ කොටස් එකලස් කරන ලද නීති විරෝධි ජීප් රථයක් ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය පසුගිය 30 වැනිදා සිදු කළ පරීක්ෂාවේදී මෙම වාහනය අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරු සතුව අදාළ ලියලියවිලි කිසිවක් තිබී නොමැති අතර එහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් පොලීසිය විමසීමේදී අදාළ පුද්ගලයා පවසා ඇත්තේ පසුගිය දා වෙඩි තබාගෙන මියගිය රාජ්‍ය ඇමැති ලේකම්වරයා වාහනය සිය ගෙවත්තට සති තුනකට පමණ පෙර ගෙනවිත් දැමූ බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පොලිසිය කළ දීර්ඝ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙම රථය කපුවා සහ ඔහුගේ පුතා පරිහරණය කර ඇති එකක් බවත් කපුවාට අයත් වාහන අංගණයක ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තම පුත්‍රයාගේ නිවසට මෙම වාහනය ගෙනවිත් දමා ඇති බවයි.
එමෙන්ම මෙම කපුවාට අයත් වාහන අංගණයේ තවත් නීත්විරෝධී ලෙස එකලස් කළ මෙවැනි වාහන ඇති බවට සැකකරන තොරතුරු රැසක් පොලිසියට ලැබී ඇති බැවින් ඒම වාහන අංගණය පරීක්ෂා කිරීමට පොලිස් කණ්ඩායමක් පිටත්කර හැර ඇත.
පොලීසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී 2022 වසරේ ගෙවූ සැකකරුගේ නමින් ඇති විදුලි බිලක් අදාළ මෝටර් රථයේ තිබී හමුවී ඇති අතර වාහනය පිරිසිදු කිරීමට සේවා සපයන ආයතනවලට ලබා දී ඇත්තේ සැකකරු සහ පවුලේ පිරිස් බව අනාවරණය වී ඇත.
එම රථයේ සවිකර තිබූ අංක තහඩුව මහනුවර පුද්ගලයකුගේ වාහනයකට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කර ඇති අංකයක් බව වැඩිදුරටත් කරුණු වාර්තා වෙයි.
පසුගිය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ජනාධිපතිවරයා ගමන් ගත් වාහනයට වෙට්ටුවක් දමා නිල් රතු අලෝක පහන් සහිතව ගමන් කළ මෙම වාහනය ඉන් පසුව මහනුවරදී අත්අඩංගුවටද ගෙන ඇති අතර එකලස් කරනලද වාහනයක් බවටද එකළ අනාවරණය වී තිබුනි.
නමුත් මෙම වාහනය පසුව අධිකරණය විසින් ඔවුන්ටම අයත් තවත් නීතිවිරෝධීව එකලස් කරන ලද වාහනයක් සමඟ මුදා හැරි අතර ඒ සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරයාට එරෙහිව පොලිසිය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවටද පැමිණිල්ලක් කර තිබේ.
මෙලෙස නැවතත් පොලිසියට වෙනත් අංකයකින් හමුවී ඇත්තේ ඒම වාහනය බව පොලීසිය තහවුරු කරගෙන තිබේ.
නීති උපදෙස් අනුව කපුවා සහ ඔහුගේ පුතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් වාහනය මෝටර් රථ පරීක්ෂකවරයාට සහ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.