බහුතරය අහිමිනම් සභාපති පත්වෙන්නේ මෙහෙමයි.!

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසන්නේ එක් දේශපාලන පක්ෂයකට පළාත් පාලන ආයතනයක 50%ට වඩා බලය හිමි නැති අවස්ථාවලදී සභිකයන්ගේ ඡන්දයකින් නගරාධිපති හෝ සභාපතිවරයා තෝරාපත් කරගත හැකි බවයි.

පළාත් පාලන කොමසාරිස්වරයා විසින් කැඳවනු ලබන පළමු රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුවන්නේ යැයි ද එසේ පළාත් පාලන ඡන්දයෙන් 50%ට වඩා බලය හිමි නොවූ ආයතනවලට බහුතර සභිකයන්ගේ කැමැත්තෙන් වුව නගරාධිපති හෝ සභාපති පත්කරගත හැකි බව ඔහු සඳහන් කළේ ය.

පළාත් පාලන ඡන්දයේදී 50%ට වඩා සභිකයන් හිමි කරගත් දේශපාලන පක්ෂවලට අදාළ පළාත් පාලන ආයතනයේ සභාපති හෝ නගරාධිපති ධුරයට කෙනෙකු පත්කිරීමට එම පක්ෂවල ලේකම්වරයාට අයිතිය ඇතැයි ද ඔහු අවධාරණය කළේ ය.

බහුතර බලය හිමි නැති අවස්ථාවකදී පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කෙරෙන අදාළ ඡන්ද විමසීමේදී ධුරය සඳහා කීප දෙනෙකු ඉදිරිපත් වුවහොත් හා ඡන්ද සම අවස්ථාවක් උද්ගත වුවහොත් කුසපත් ඇදීමේ ක්‍රමය පවා භාවිත කරන්නේ යැයි අධ්‍යක්ෂකවරයා කීවේය.

ඔහු එම කරුණ මෙසේ පැහැදිලි කළේ ය.

“නිදසුනකට ජාතික ජන බලවේගයට බහුතරය තියෙනවා නම් කිසි අවුලක් නෑ. ජාජබ ලේකම්ගෙන් අහලා සභාපතිගේ නම ගැසට් කරනවා. බහුතරය දිනුවාට මේ මැතිවරණ ක්‍රමය අනුව සභාපති ධූරය තියෙන්නේ වැට උඩ. පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීම පවත්වන්නේ පළාත් පාලන කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන්.

ඔහුගේ බලය අභිනියෝජනය කරන්න බෑ. එනිසා ඔහු ඊට සහභාගී විය යුතුමයි. එතැනදී සභාපති සඳහා නාමයෝජනා දෙනවා. යෝජනා ස්ථිර කරනවා. එක්කෙනෙක් නම් පැහැදිලියි. දෙන්නෙක් ඉල්ලලා ඡන්ද සම වුණොත් කුසපත් අදිනවා. ඊට පස්සේ 3ක් ඉල්ලනවා කියල හිතමු. එක්කෙනෙක්ට ඡන්ද 10ක් තව කෙනෙක්ට ඡන්ද 5ක් හා තව කෙනෙක්ට 5ක්. එතැනදි 10 ගත්ත කෙනා පැත්තකින් තියලා පහ පහ ගත්ත අය අතරේ කුසපත් අදිනවා.

එයින් තේරෙන කෙනා හා 10 ගත්ත කෙනා අතර නැවත වරක් ඡන්දයක් විමසනවා. එතැනදිත් සමාන වුණොත් කුසපත් අදිනවා. හැම වෙලේ ම කෙනෙක් හලමින් ඉදිරියට ගිහින් තමයි බහුතරය ගත්ත කෙනා හොයන්නේ. මේ ඡන්ද ප්‍රතිඵලයේ ප්‍රක්ෂේපණය අනුව පළාත් පාලන කොමසාරිස්වරු වඩාත් කාර්යබහුල වෙන්නත් ඉඩ තියෙනවා. පළමු රැස්වීමේදී කරන්නේ සභාපති හා උප සභාපති තෝරන එක විතරයි.”

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments