By unusuma.lk on
(LK time)ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ, ඉන්දියානු සමාගමක් විසින් එරට දී නිෂ්පාදනය කරන ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සඳහා මෙරට ලියාපදිංචිය ලබා දී ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දී වන අතර ඖෂධයේ ගුණාත්මකභාවය, සුරක්ෂිතභාවය පිළිබඳ සායනිකව සහ ඖෂධීය තත්ත්වය පිළිබඳ නිසි ඇගයීමකින් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් ඊට අදාළ ලියාපදිංචිය ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව කරන ලද පර්යේෂණයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබද ගැටලුකාරී තත්වයක් පෙනීගිය බැවින් ආරක්ෂාව හා අවධානම් ඇගයීම් උප කමිටුව මඟින් ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දී ඇති බවයි.
නමුත් පසුව මෙරට සිදුකරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ එම ඖෂධය නිසි ප්‍රමිතියෙන් යුක්ත බවය.
එමෙන්ම ඉන්දියාවේ මධ්‍යම තත්ත්ව පාලන ආයතනය මඟින් එම ඖෂධය පිළිබඳ කරන ලද තත්ත්ව පර්යේෂණවලින් ද මේ බව තහවුරු වී ඇති බව නිවේදනය මඟින් පෙන්වා දී ඇත.
එම වාර්තා සලකා බැලීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවධානම් ඇගයීම් උපකමිටුව මඟින් එම ඖෂධය තවදුරටත් භාවිතා කළ හැකි බවට තීරණය කර ඇති අතර ඒ බව වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී තිබේ.
ඒ අනුව අදාළ ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන අතර එම ඖෂධය නැවත භාවිතා කළ හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.