පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ එම දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් හෙට (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව අවශ්‍ය සියලු ලේඛන රැගෙන අදාළ කාර්යාල වෙත පැමිණීමෙන් හැඳුනුම්පත් ලබා ගත හැකි බවත් 2026 මාර්තු (31) අඟහරුවාදා දින සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලයන්හි සුපුරුදු පරිදි එක්දින සේවය ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සඳහා ලබාදෙන ජාතික හැඳුනුම්පත් තොරතුරු සත්‍යාපනය කිරීම හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කිරීම ඇතුළු අනෙකුත් සියලුම සේවාවන් සීමා සහිතව පවත්වා ගෙන යනු ලබන බැවින් අදාළ ආයතන ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රමවේද අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කර ඇත.
ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවය / පෙරටු කාර්යාලය ක්‍රියාත්මක වන්නේ 2026 අප්‍රේල් (06) වැනි සඳුදා දින සිට වන අතර පද්ධතිය නැවත යථාවත් වූ පසු සියලු සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

