By unusuma.lk on [last-modified] (LK time)
අයහපත් කාලගුණයෙන් මරණ 09ක් දක්වා ඉහළට; දිස්ත්‍රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වන විට 09ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.
එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පැවති අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යට වී ඇති අතර, මාර්ගවලට ගල් පෙරළීමේ සිදුවීම් කිහිපයක්ද වාර්තා වී ඇති බවයි.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 10ක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ. NBRO හි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ, කොළඹ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, බදුල්ල, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බවයි.
දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇද හැලෙන්නේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඒ අනුව, මෙම දිනවල සවස් කාලයේදී තද වැසි අපේක්ෂා කළ හැකිය.
තද වැසි සහ සුළං හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී ඇති අතර, ඌරුබොක්ක බද්දන්වල ප්‍රදේශයෙන් මාතර – කොටපළ මාර්ගය ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබුණි. ඌරුබොකු ඔය පිටාර ගැලීමෙන් කටුවන නගරය සහ අවට ප්‍රදේශද ඊයේ රාත්‍රියේ ජලයෙන් යට විය.
මාතර දිස්ත්‍රික් සහන සේවා ඒකකය වාර්තා කරන පරිදි, අයහපත් කාලගුණයෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 100කට අයත් පුද්ගලයින් 363 දෙනෙකු පීඩාවට පත්ව ඇත. දෛනික කටයුතුවලට බාධා එල්ල වූ ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා ආරක්ෂක අංශ මැදිහත් වී ඇත.
එමෙන්ම, නාගොඩ හරහා හමාගිය තද සුළඟකින් මාපලගම – ගාල්ල ප්‍රධාන මාර්ගයේ විදුලි රැහැන් පද්ධතියට ගස් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම් සහ මාර්ග රැසක්ද ඇද හැලුණු තද වැසි සමඟ ජලයෙන් යට වී තිබුණි.






