KDU බස් මාරකයේ පරීක්ෂණ වාර්තා නිකුත්වෙයි.. රියදුරාගේ අනවශ්‍ය ක්‍රියාවක්.!

පසුගිය නොවැම්බර් 01 වැනිදා බදුල්ල – මහියංගණය මාර්ගයේදී අනතුරට ලක්වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුන් රැගත් බස් රථය අනතුරට ලක්වීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණ වාර්තාව නිකුත් වී ඇත.

මෙම පරීක්ෂණය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ සහකාර කොමසාරිස් සුජීව තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මත කුරුණෑගල ප්‍රධාන මෝටර් වාහන පරීක්ෂක ප්‍රභාත් රාජතේව මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් මෝටර් රථ පරීක්ෂක කණ්ඩායමක් විසින් සිදුකර තිබුණි.

පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන් ලෙස කුරුණෑගල මෝටර් වාහන පරීක්ෂක ආර්.එම්.ඒ. පද්මකුමාර, අනුරාධපුරය මෝටර් වාහන පරීක්ෂක ටී.බී. ගලගොඩ, වේරහැර මෝටර් ප්‍රවාහන පරීක්ෂක ඒ.ජී.එච්.සී. කුලතුංග, බදුල්ල මෝටර් වාහන පරීක්ෂක ජාලිය බණ්ඩාර, බදුල්ල මෝටර් වාහන පරීක්ෂක ආර්.පී.එච්.එම්. රන්දෙණිය යන මහත්වරු කටයුතු කළහ.

එම මාරක බස් රථ අනතුරින් සිසු සිසුවියන් තිදෙනකුට දිවි අහිමි වූ අතර තවත් සිසු සිසුවියෝ 37 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.

රියදුරා විසින් බස් රථය වැඩි වශයෙන් පා තිරිංග භාවිතා කරමින් ධාවනය කිරීම හේතුවෙන්, තිරිංග ඩ්‍රම්ස් හා ෂූස් ඝර්ෂණය වී අධිකව රත්වී ඇති බවත් ඒ හේතුවෙන් තිරිංගවල බලය අඩුවී ඇති බවත් මෙම වාර්තාවෙහි සඳහන් කර ඇත.

එමෙන්ම මෙම බස් රථයේ තිරිංග නිසි ලෙස නඩත්තු කර නැතැයි ද බස් රථය 1992 වසරේදී නිෂ්පාදනය කර ඇතැයි ද වසර 28කට පසු එය මෙරටට ආනයනය කර ඇතැයි ද පරීක්ෂණ වාර්තාව මඟින් අනාවරණය වී තිබේ.

අණතුර සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂඥ මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ කණ්ඩායම නොවැම්බර් 07 වැනිදා බදුල්ල මූලස්ථාන පොලිසියේදී බස් රථය පරීක්ෂාවට ලක්කළ අතර ඊට අදාළ වාර්තාව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා වෙත භාරදී තිබේ.

මෙම අනතුර බස් රථයේ රියැදුරුගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් ධාවනය මත සිදුව ඇති බවත් අනතුර වළක්වා ගැනීම සඳහා බස් රථයේ රියැදුරු අත් තිරිංග භාවිත කර නොමැති බවත් පරීක්ෂාවේදී හෙළි වී තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.