
මෙරට එක් පුද්ගලයකු විසින් සොරකම් කරන ලද විශාලතම රථවාහන තොගයක් පෙරේදා (25) කුලියාපිටිය පොලිසිය විසින් සොයා ගැනීමට සමත් වී ඇත.
එහිදී අදාළ සැකකරු විසින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 13ක් සහ යතුරුපැදි 8ක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබේ.
සූදුවට ඇබ්බැහි වී සිටි සැකකරුවකු විසින් මෙම සොරකම් සිදුකර ඇති බව වාර්තා වෙයි.
කුලියාපිටිය පොලිසියේ විමර්ශන අනුව, අදාළ සැකකරු විශේෂ උපක්‍රමශීලී ක්‍රමවේදයක් අනුගමනය කරමින් රථවාහන සොරකම් කර ඇති බව හෙළි වී තිබේ.
සැකකරු පොල්ගහවෙල ප්‍රදේශයේ භාවනා අසපුවක ආගමික වැඩසටහන්වලට සහභාගි වීමේ වෙස් ගනිමින්, එම ස්ථානයේ රථගාලෙන් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරාගෙන ඇත.
එමෙන්ම, කුලියාපිටිය ශික්ෂණ රෝහල, කුරුණෑගල පළාත්බද මහරෝහලේ රථගාල්වල නවතා තිබූ රථවාහන ද ඇතුළුව විශාල රථවාහන ප්‍රමාණයක් සොරකම් කර ඇති බව වාර්තා වෙයි.
සැකකරු අධික ලෙස කැසිනෝ සහ සූදු ක්‍රීඩාවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව තහවුරු වී ඇති අතර මීට පෙර කුලියාපිටිය නාරංගල්ල ප්‍රදේශයේ සැකකරු පදිංචිව සිටි නිවස ද සූදුවෙන් පරාජය වීමෙන් බැංකුවකට සින්නක්කර වී ඇති බව පැවසෙයි.
මෙම රථවාහන සොරකම් පිළිබඳව පොලිසියට ලැබුණු පැමිණිලි මත පදනම්ව, කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා සමඟ එක්ව විශේෂ විමර්ශන මෙහෙයුමක් දියත් කර ඇත.
පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී රථගාල් අසල රැඳී සිට ආරක්ෂක කැමරා දර්ශන සහ වෙනත් සාක්ෂි ඇසුරින් සංසන්දනය කිරීමෙන් අනතුරුව සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සමඟ ඔහුගේ වත්මන් නිවස පරීක්ෂාවට ගිය පොලිසිය, එහිදී සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක චැසි අංකයට සමාන චැසි අංකයක් සහිත ත්‍රිරෝද රථයක් සොයාගෙන ඇත. මෙය තවදුරටත් විමර්ශනය කිරීමෙන් අනතුරුව අදාළ රථවාහන තොගය පිළිබඳව අනාවරණය වී ඇත.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, ඔහු පොල්ගහවෙල අසපුවට නිරන්තරව ගොස් ඇති බවත්, එහි ශීල ව්‍යාපාර භාවනා කටයුතු අවසන් වූ පසු එම ස්ථානයෙන් ද ත්‍රිරෝද රථ හා යතුරුපැදි කිහිපයක් සොරාගෙන ඇති බවත් පිළිගෙන තිබේ.
ඊට අමතරව, නාරම්මල, පොල්ගහවෙල මහමෙව්නාව, මාරවිල ආදී ප්‍රදේශවලින් ද ත්‍රිරෝද රථ හා යතුරුපැදි සොරාගෙන ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.
සැකකරුගේ තොරතුරු මත පදනම්ව, තිහාරිය, කළගෙඩිහේන, දංකොටුව, කොස්වත්ත, වේයන්ගොඩ, මීරිගම ආදී ප්‍රදේශවලට විකුණා තිබී ත්‍රිරෝද රථ 13ක් හා යතුරුපැදි 8ක් සොයාගැනීමට පොලිසියට හැකි වී තිබේ.
පොලිසිය විසින් කරන ලද මූලික විමර්ශනවලදී, සැකකරු රෝගීන්ගේ සුවදුක් බැලීමට රෝහල්වලට පැමිණෙන විට විශේෂ උපක්‍රමයක් භාවිතා කර ඇති බව හෙළි වී තිබේ.
ඔහු තම යතුරුපැදිය හැඬල අගුළු දමා නවතා, රෝගීන් බැලීමට පැමිණි අනෙක් පුද්ගලයන්ගේ වාහන සොරාගෙන, පසුව බස්රථවල පැමිණ ඔහුගේ යතුරුපැදිය ආපසු රැගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු විසින් සොරාගත් ත්‍රිරෝද රථවල වර්ණය සහ හැඬය වෙනස් කර චැසි අංක නැවත අංකනය කිරීම ද සිදු කර ඇති බව සොයාගෙන ඇත.
පොලිසියේ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ පරිදි, ඇතැම් ත්‍රිරෝද රථ අලුතින් චැසි අංකනය කර, ඒවාට නීත්‍යානුකූල ලේඛන පවා සකසා, කල්බදු පහසුකම් ද ලබාගෙන ඇත.
පොලිසිය සැකකරු සමඟ සොයාගත් වාහන අතර, සමහර වාහන ඒවායේ සැබෑ හිමිකරුවන්ට ආපසු භාර දීමට කටයුතු කරමින් සිටින අතර, එම වාහනවල සත්‍ය හිමිකරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය ද සිදු කරමින් පවතින බව වාර්තා වෙයි.
විජිත
මුන්ට අපේ සල්ලිම වියදම් කරල කන්න දීලා ආණ්ඩුවේ බෝඩිමේ තිතියාගෙන බලාගන්නවද නැත්නම් වෙන ක්‍රමයක් හොයාගන්නවද?