Attention

“දරුවන් යනු ජාතියේ වටිනාම සම්පතයි” ජනපතිගේ සුබ පැතුම් පණිවිඩය

“දරුවන් යනු ජාතියේ වටිනාම සම්පතයි” ජනපතිගේ සුබ පැතුම් පණිවිඩය

“දරුවන් යනු ජාතියේ වටිනාම සම්පතයි. එබැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයක ප්‍රමුඛ වගකීමයි. දරුවන්ගේ සිහින, අපේක්ෂා සහ නිර්මාණශීලීත්වය තුළ රටේ හෙට දවස තීරණය කෙරේ.

එබැවින් දරුවන් වෙනුවෙන් අප ගොඩනඟන රට යනු ඔවුන්ට හෙට දිනයේ භාරදීමට පමණක් සූදානම් කරන රටක් නොව, අද දවසේම ඔවුන්ගේ සිහිනවලට ඉඩ සලසන, ඔවුන්ගේ හඬට සවන් දෙන සහ ඔවුන්ගේ හැකියාවන්ට පූර්ණ අවකාශය සලසා දෙනු ලබන පරිසරයක් සහිත රටකි.

අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජ ආරක්ෂණය, නිසි පෝෂණය සහ සෞඛ්‍ය සේවා මෙන්ම, දරුවන්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන, හිංසන සහ වෙනස්කම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ශක්තිමත් කිරීම අපගේ වගකීමක් ලෙස අපි සලකමු.

කිසිදු දරුවෙකුගේ ජාතිය, ආගම, ආර්ථික තත්ත්වය හෝ භූගෝලීය පසුබිම අධ්‍යාපනයට බාධාවක් නොවිය යුතුය. සෑම දරුවෙකුටම තම හැකියාවන් පුබුදුවා ගනිමින්, තම සිහින හඹා යමින්, තමන් කැමති අනාගතයක් නිර්මාණය කර ගැනීමට සමාන අවස්ථා හිමි විය යුතුය.

ඒ වෙනුවෙන් මෙරට අධ්‍යාපනය නව පරිවර්තනයකට ලක් කරමින් දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන මෙන්ම නව ලෝකයට ගැළපෙන කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ අපි මේ වන විටත් ආරම්භ කර ඇත්තෙමු.

අප ගොඩනඟන නව ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකු අත් නොහැර, සෑම දරුවෙකුටම සුරක්ෂිත පරිසරයක තම හැකියාවන් උපරිමයෙන් වර්ධනය කරගැනීමට අවස්ථා සලසා දීම අපගේ අරමුණයි.

අධ්‍යාපන ශිෂ්‍යත්ව පුළුල් කිරීමේ සිට, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන සහ රැකවරණය අවශ්‍ය දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම දක්වා ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්වල මූලික අරමුණ වන්නේ රටේ සෑම දරුවෙකුටම අභිමානවත් සහ සුරක්ෂිත හෙට දවසක් උරුම කර දීම බව මෙහිලා සිහිපත් කළ යුතුය.

තමන් අත්විඳි ජීවිතයට වඩා හොඳ ජීවිතයක් තම දරුවන්ට උරුම කර දීම සෑම දෙමාපියෙකුගේම අපේක්ෂාවයි.

අස්ථාවර ආර්ථිකයක සෙවණැලිවලින් තොර, සුරක්ෂිත සහ සුන්දර ළමා වියක් දරුවන්ට උරුම කර දීම සඳහා අප මේ වන විට රටේ ආර්ථිකය නිවැරදි හා ස්ථාවර දිශානතියකට මෙහෙයවමින් සිටිමු. එසේම විෂ මත්ද්‍රව්‍ය රකුසාගෙන් දරු පරපුර මුදා ගැනීමට සියලු දෙනා එක් කර ගනිමින් “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා ඇත්තෙමු.

දරුවන් වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමේ අත්හළ නොහැකි වගකීම ඉටු කරමින් සිටින මෙවන් මොහොතක, “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව පෙරදැරි කර ගනිමින්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික ළමා දින සතියක් ප්‍රකාශයට පත් කරමින්, දරු පරපුරේ අයිතිවාසිකම්, ආරක්ෂාව, අධ්‍යාපනය සහ අනාගත අපේක්ෂා ශක්තිමත් කිරීම අරමුණු කරගත් අර්ථවත් වැඩසටහන් රැසක් සමඟ මෙවර ලෝක ළමා දින සැමරුම සංවිධානය කිරීම බෙහෙවින් අගය කරමි.

රටේ සියලු දූ පුතුන්ට සතුට, සෙනෙහස සහ බලාපොරොත්තුවෙන් පිරි සුබ ලෝක ළමා දිනයක් වේවා’යි හෘදයාංගම සුබපැතුම් එක් කරමි.”

නාමල බන්ධනාගාරයේ පිපෙයි.. අධිකරණයෙන් නියෝග

නාමල බන්ධනාගාරයේ පිපෙයි.. අධිකරණයෙන් නියෝග

බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (29) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩු කටයුත්ත සඳහා සහ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශයනකට අදාළව අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුවට අදාළව ලබන ඔක්තෝබර් මස (13) තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගණුදෙනුවෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බව කියන චෝදනාවට අදාළව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යන නඩුවේ සැකකරුවෙක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර ඇත.

ජනපති අනුර අද ගම්පහට

ජනපති අනුර අද ගම්පහට

“ආණ්ඩුවට වසර දෙකයි – රටට සුබයි” තේමාව ඔස්සේ සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් රැළියක් අද (27) දින සවස ගම්පහදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නගර සභා පිටියේදී පස්වරු 3.30ට මෙම රැළිය ආරම්භ කිරීමට නියමිත අතර ඒ අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇත.

ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු සිදුකරන සංවර්ධන ව්‍යාපෘති හා නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම රැළි පවත්වයි.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ඇමති විජිත අමෙරිකාවට

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ඇමති විජිත අමෙරිකාවට

විදේශ අමාත්‍ය විජිත හේරත් අද (26) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

සඳුදා පැවැත්වෙන මහා මණ්ඩල විවාදයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කරනු ඇත.

පසුගිය (22) වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය, ලබන (28) වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ එහිදී අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

අභියාචනාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය

අභියාචනාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර ඇත.

මේ අතර, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත පහත නම් සඳහන් අධිකරණ සේවා නිලධාරීන් තිදෙනා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (23) දින පත් කිරීමට නියමිතය.

01- පෙරුමාල් සිවකුමාර්
02- ආනන්දි කනගරත්නම්
03- ඤාණේස ලලිත් කන්නන්ගර

ඉදිර පැය 24 ගැන අනතුරු ඇඟවීමක්

ඉදිර පැය 24 ගැන අනතුරු ඇඟවීමක්

බටහිර – මධ්‍යම සහ ඊට යාබද නැගෙනහිර – මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය, බටහිර – මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ එය ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වා තවදුරටත් වර්ධනය වී උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 12 සඳහා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා දැඩි අවධානය පිණිස මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55 – 65 දක්වා වැඩි වන අතර මුහුද විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව සඳහන් කරයි.

ගිගුරුම් සහිත තද වැසි සමඟ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු තත්ත්වයට පත් වනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනපති අනුරගේ රැස්වීම් වල කැපී පෙනුණු විශේෂ ප්‍රකාශ 13ක්

ජනපති අනුරගේ රැස්වීම් වල කැපී පෙනුණු විශේෂ ප්‍රකාශ 13ක්

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් සම්පූර්ණ වීමත් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ජන රැළි කිහිපයක් පැවැත්වූ අතර එහිදී සිදුකළ ප්‍රකාශවල සඳහන් වූ විශේෂ කරුණු කිහිපයකි.

1.පාතලයට කිසිදු සමාවක් නෑ. පාතාලය සහ කුඩු ව්‍යාපාරය මුළුමනින්ම ඉවත් කරනවා.

2.මේ අවුරුදු දෙකේ වැඩි කාලයක් කරලා තියෙන්නේ පරීක්ෂණ. දැන් පරීක්ෂණ කරපු කාලය ඉවරයි. දැන් අල්ලන්න තියෙන්නේ.

3.පොහොර සහනාධාරය එළඹෙන 2027 අයවැයේදීත් ඊළග කන්න සහ දිගටම රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීම.

4.පරිවාස භාරයේ සිටින සෑම දරුවෙක්ට 2027 ජනවාරි මාසයේ ඉදන් සෑම මාසෙකට රුපියල් 5,000 ගානේ ස්ථාවර ගිණුමකට දානවා.

5.රටේ මහජනයාගේ ධනයෙන් සතයකට හරි අත තිබ්බොත් කවදාහරි දඩුවමක් ලැබෙන බව ඔප්පු කර පෙන්වනවා.

6.දූෂිතයින්ට දඬුවම් ලබාදීමේදී කවුරු ඇඬුවත් ඒක අපිට පේන්නේ නෑ. අපි ඇස් බැඳගෙන ඉන්නේ.

7.රාජ්‍ය සේවයට අලුතින් 121,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

8.දිවයින පුරා වැව් අමුණු, ඇල වේලි හදන්න රුපියල් මිලියන 35,000ක් වෙන් කරනවා.

9.දරුවන් ගණන 50ට වඩා අඩු පාසල් ලොකු පාසල් සමග බද්ධ කරනවා.

10.පාසල් පොත්වල වැට් බද්ද ඉවත් කරන්න කටයුතු කරනවා.

11.අපි මේ රැස්වීම් තියන්නේ ආණ්ඩුවට තර්ජනයක් ඇවිල්ලා නෙවෙයි. මේ ආණ්ඩුවට කිසිම තර්ජනයක් නෑ.

12.වසර කිහිපයක් ඇතුළත ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අත්පත් කර ගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කර තිබෙනවා.

13.මැදපෙරදිග යුද්ධය නිසා, අපි පාවිච්චි කරන තාර වර්ගය මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රශ්නයක්. එනිසා සැලසුම් කළ මාර්ග ඉදිකිරීමේ ප්‍රමාදයක්.

Turkish Airlines රුමේෂ්ගෙන් සමාව ඉල්ලයි.. සිදුවූ හානියට විශාල වන්දි මුදලක්

Turkish Airlines රුමේෂ්ගෙන් සමාව ඉල්ලයි.. සිදුවූ හානියට විශාල වන්දි මුදලක්

හෙල්ල විසි කිරීමේ ලෝක ශුරයා වන රුමේෂ් තරංගගේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩා උපකරණ වලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි මුදලක් ලබාදීමට “Turkish Airlines” ආයතනය එකඟතාව පළකර ඇති බව සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සදහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් Turkish Airlines නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) දින සිවිල් ගුවන්සේවා අධිකාරී පරිශ්‍රයේදී පවත්වා තිබුණ අතර එහිදි මෙම වන්දි මුදල ලබාදීමට “Turkish Airlines” ආයතනය එකඟතාව පළකර ඇත.

වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිතරුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සහ සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ ඇතුළු නිලධාරීන් සහ Turkish Airlines ආයතනයේ නියෝජිතයින් එක්ව සිටියේය.

මෙම විශේෂ සාකච්ඡාවේදී රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ වලට සිදුවූ හානිය සම්බන්ධයෙන් “Turkish Airlines” නියෝජිතයින් සිය කනගාටුව පළකර ඇති අතර අනතුරුව අදාළ හානිය පිළිබඳ තක්සේරුවක් සිදුකර, ඒ වෙනුවෙන් රුමේෂ් තරංගට වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට එකඟ වී ඇත.

රුමේෂ් තරංගගේ නම රන් අකුරින් ලියවෙයි

රුමේෂ් තරංගගේ නම රන් අකුරින් ලියවෙයි

ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සමත් විය.

ඒ අනුව රුමේෂ් තරංගගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙයි.

ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන මෙම ශුරතාවලියේදී රුමේෂ් තරංග මීටර් 91.09ක දුරක් වාර්තා කළේය.

මෙම විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා පිටියේ තවත් සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත් විය.

රාජපක්ෂ පවුලේ ගුවන් යානා වංචාව.. බලය අතේ තියන් රඟපු හැටි

රාජපක්ෂ පවුලේ ගුවන් යානා වංචාව.. බලය අතේ තියන් රඟපු හැටි

2006 වසරේදී යුක්‍රේනයෙන් මිග් – 27 ප්‍රහාරක යානා මිලදී ගැනීම සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ගණුදෙනුවක් සිදුවු අතර එම ගණුදෙනුව යුක්‍රේන රජයට අයත් යුක්‍රේන මාෂ් ආයතනය සමග ආණ්ඩුවෙන් ආණ්ඩුවට කෙරුණු ගණුදෙනුවක් බව එවක බලධාරීන් සඳහන් කළේය.

පසුව අනාවරණය වු පරිදි ශ්‍රී ලංකා රජය මෙම ගණුදෙනුව සඳහා ගෙවන ලද මුදලින් ඩොලර් මිලියන ගණනක් බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත්හි ලියාපදිංචි බෙලෙනිසා හෝල්ඩින්ස් නම් අතරමැදි ආයතනයක් හරහා වෙනත් රටවලට යොමුකර ඇත.

සමාගම් බදු සහන ලබාගැනීමට පැමිණීම නිසා සහ එහි ලියාපදිංචිව පවතින සමාගම් වල තොරතුරු පිළිබඳව රහස්‍යභාවය සුරැකීම නිසා බ්‍රිතාන්‍ය පාලනයට අයත් වර්ජින් දූපත් ලෝකයේ ප්‍රසිද්ධව පවතියි.

යුක්‍රේන රජයේ ආයතනය ලැබී ඇත්තේ නියමිත මුදලින් කොටසක් පමණ වන අතර ඉතිරි ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් කොල්ල කා ඇති බව මුල්‍ය අපරාධ පරීක්ෂණ අංශය පසුව අධිකරණයට වාර්තා කළේය.

තවද සිදුකරන ලද වසර තුනක පරීක්ෂණ වලින් හෙළිවු කරුණු අනුව 2006 වසරේ ජුලි (26) වැනිදා ඇතිකර ගත් ගිවිසුම ව්‍යාජ එකක් බව හෙළිවී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගණුදෙනුවට අදාළව එම සමාගමට මුදල් ගෙවා ඇත.

එහෙත් එම සමාගමේ ලන්ඩනයේ ඇත්තේ, ලිපිනයක්, පුටුවක් සහ මේසයක් පමණක් බව වාර්තා වු අතර පසුව එම සමාගම බ්‍රිතාන්‍යයේ වර්ජින් අයිලන්සි රහසිගත ගිණුමකට මෙම මුදල් බැරකර ඇති බවයි.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට සති කිහිපයකට පෙර එවක පාලකයින් සම්බන්ධ වු මෙම බරපතල මිග් යානා වංචාවේ සුලමුල හෙළිකිරීමට කටයුතු කළේය.

යුක්‍රේනය සමග ආණ්ඩු දෙකක් අතර සිදු කරන ගණුදෙනුවක් ලෙස මෙය සිදුකිරීමට හැකියාව තිබියදී එය දූෂිත අයුරින් සිදුව ඇති බවට ලසන්ත වික්‍රමතුංග⁣ අනාවරණය කළේය.

2006 වසරේදී මිග් – 27 ප්‍රහාරක යානා මිලදී ගැනීම සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධ ගණුදෙනුව සිදුවු කාලයේ එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය.

තවද එම වංචාව සිදුවන කාලයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක වේ.

ඒ අනුව මෙම ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවේදී සිදුව ඇතැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (11) දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණියේය.

අනතුරුව පැය 5කට අධික කාලයක් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිටව ගියේය.

තවද එම මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ඊයේ (10) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාදුන්නේය.

මේ අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

2012 – 2013 කාල සීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 13ක් ඉවත් කර ඒ වෙනුවට අලුත්ම යානා 14ක් සේවයට එක්කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වු අතර එම යානා අතරින් A 330 යානා 6ක් සහ A 350 යානා 4ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කර ඇත.

ඒ අනුව 2020 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය සිදුකළ විමර්ශනයක තොරතුරු හෙලිවීමත් සමග මෙම ගනුදෙනුවේ බරපතල වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය විය.

එයාර් බස් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුව සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක අල්ලසක් ලබාදීමට පොරොන්දු වී තිබූ බව මෙම විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකන් සමාගමේ එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිණුමකට මෙම මුදලින් ඩොලර් මිලියන 2ක් බැර කර ඇති බව එහිදී හෙළිවිය.

එම වාර්තාවට අනුව බිරිදට අයත් සමාගමේ නමින් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමට ලැබුණු මුදල් සිංගප්පූරුවේ ගිණුමක් මගින් කපිල චන්ද්‍රසේන අවස්ථා කිහිපයකදී ඕස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ ගිණුමකට මාරුකර යවා ඇත.

තවදුරටත් විමර්ශන සිදුකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙරට ගිණුම් දෙකකටද සිංගප්පූරුවෙන් මුදල් හුවමාරුවී ඇතැයි අනාවරණය වු අතර එම ගිණුම් දෙක අතර ශමින්ද්‍ර රාජපක්ෂට අයත් බැංකු ගිණුමකට 2013 වසරේදී ඇමරිකානු ඩොලර් එක් ලක්ෂය හැට දහසක මුදලක් බැරවී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ BIZ Solutions INC නැමැති ගිණුමට අල්ලස් වශයෙන් ලද යූරෝ 1,454,651.24 ක මුදලින් ඇමරිකානු ඩොලර් 800,000 ක මුදලක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වෙත හිමිකාරිත්වය ඇති Saber Vision Holdings LTD සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ගිණුමක් වෙත තැන්පත් කරවාගෙන එම මුදලට සමාන වන අයුරින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 100 ක (රු. 100,000,000) මුදලක් ශ්‍රී ලංකා ව්‍යාපාරිකයකු අතින් 2014 හා 2015 වර්ෂවල අවස්ථා කිහිපයකදී අල්ලස් ලෙස ලබාගැනීම නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අදාල කරුණු වේ.

එම අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගේ ප්‍රකාශය, ප්‍රංශයේ Airbus සමාගමේ නිලධාරින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට ලබාදුන් ප්‍රකාශ, ඒ සම්බන්ධයෙන් රැස්කරන ලද ලේඛන හා අනෙකුත් තොරතුරු මත නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේය.

මේ සම්බන්ධයෙන් පසුගිය මැයි මස (12) වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය.

මියගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබාදුන් ප්‍රකාශයක් මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබිණි.

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබාදී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම මාර්තු (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මේ අතර එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පසුගිය (08) වනදා අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණේය.